දේශීය

සරදියෙල් ඇල්ලීමේ යුද්ධය සහ පොලිස් විරු සමරු දිනය

එළැඹෙන මාර්තු මස 21 වැනි දා ට 157 වැනි ශ්‍රී ලංකා පොලිස් විරු සමරු දිනය සමරනු ලබයි. සූර සරදියෙල් උතුවන්කන්දේ දී ඉංග්‍රීසි ආණ්ඩුවේ අත්අඩංගුවට පත්ව වසර 157ක් ගෙවී අවසන් ය. ඒ 1964 වසරයි. ඉන් මාස එකහාමාරකට පසුව මැයි 07 වැනි දා මහනුවර පෝරක හෙල නම් ස්ථානයේ දී එල්ලා මරා දැමුණි. ඒ අතර තුර කාලයේ දී මෙන්ම ඉන් පසුව ද සරදියෙල් නම් නාමය මෙරට සිව් කොණේම රැව් දුන් නාමයක් විය. සරදියෙල් සමාජයෙන් තුරන් කළ යුතු පුද්ගලයෙක් ලෙස සිතා සිටි පිරිසට වඩා සරදියෙල් ට ආදරය කළ පිරිස අති විශාල ය.

සරදියෙල්ව අත් අඩංගුවට ගන්නේ එම වසරේ මාර්තු 21 වැනි දා ය. එදිනම ඊට පෙර සරදියෙල් ගේ විශ්වාස වන්ත මිතුරා වන මම්මලේ ගේ නොවරදින ඉලක්කයට හසු වන කොස්තාපල් සභාන් මිය යන්නේ ‘රාජකාරිය අතර තුර වීර වික්‍රමාන්විත ලෙස සිය ජීවිතය පුද කළ පළමු පොලිස් නිලධාරියා ලෙස සටහන් තබමිණි.

එ කළ ‘පල්හොරෙක්‘ ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව මෙන්ම පළ වූ සිංහල පුවත්පත් දෙක තුනෙන් ද හැඳින් වූ සරදියෙල් ජනතාව අතර ප්‍රචලිතව සිටි යේ ‘සූර සරදියෙල්‘ ලෙසිනි. තරුණ වියට පැමිනීමෙන් පසු මංකොල්ලකෑම් වැනි  නීති විරෝධී කටයුතු සිදු කළත් සරදියෙල් ගේ ක්‍රියාවන් ඔහු ජීවත්වූ උතුවන් කන්ද සහ මාවනැල්ල ප්‍රදේශවලට පමණක් සීමා විය. සරදියෙල් ගේ ‘ප්‍රසිද්ධ ජීවිතය‘ වසර දෙකකටත් අඩු කාලයකි. එහෙත් එම කාලය හිරු නොබසින ඉංග්‍රීසි අධිරාජ්‍ය යේ මෙරට බලධාරීන්ව යම් තරමකට සසලකිරීමට ද සමත් විය.

ධනවත් ඉංග්‍රීසි වැවිලි කරුවන් ගේ බංගලාවලින් මුදල් පැහැර ගැනීමට. කොළඹින් හෝ කෑගල්ලෙන් පැමිණෙන අශ්ව කරත්ත නවතා මුදල් පැහැර ගැනීම වැනි ඉංග්‍රීසි ආණ්ඩුව ට හිසරදයක් වන ක්‍රියාවන් සරදියෙල් අරඹන්නේ 1963 වසරේ දී පමණ ය. ඒ සමගම සරදියෙල් අල්ලා ගැනීම සඳහා උතුවන් කන්ද සහ මාවනැල්ල ප්‍රදේශ වටලන පොලිසිය ට වෙඩි තබමින් තම සගයින් සමග එක්වී තමන් ගේ ක්‍රියාවන් අඩුවක් නැතිව දිගින් දිගටම සරදියෙල් සිදු කරන්නේ ප්‍රදේශයේ ජනතාව තුල විස්මය මෙන්ම ගෞරවනීය තත්ත්වයක් ද අත්කර ගනිමිනි.

ඒ සමගම ප්‍රදේශයේ සුළු මුලෑදෑනින් ද සරදියෙල් ගේ ක්‍රියාවන්ට එතරම් ප්‍රතික්‍රියා නොදක්වන්නේ ඔවුන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් එතරම් ප්‍රතිලාභ නොලැබීමත්, සරදියෙල් අල්ලන්නට ගොසින් ජීවිතය අනතුරේ හෙලීමට ඇති නොකැමැත්තත් නිසා ය.

1864 ජනවාරි මාසයේ දී සරදියෙල් සහ පිරිවර අල්ලා දෙනවුණ්ට මුදල් තෑගි පිරිනැමීම ට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යොදන අතර සරදියෙල් ට පවුම් 100ක් සහ ඔහු ගේ එක් නුගාමිකයා ට පවුම් 25 බැගින් ලබා දීමට තීරණය කර යි. ඒ සම්බන්ධයෙන් ලිපි පලකරන ‘ලක්රිවිකිරණ‘ පුවත්පත දක්වන්නේ මේ තෑගි මුදල දෙගුණ හෝ තෙගුණ කරන ලෙස යි. එසේම සරදියෙල් ගේ සගයෙක් ඔහුව අල්ලා දුනහොත් ඔහු ට සමාව දී නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද වැඩිදුරටත් දක්වා ඇත.

ප්‍රතිඵලයක් ලෙස ‘සාමත්‘ නම් සරදියෙල් ගේ අනුගාමිකයාව කෑගල්ලට ආසන්න ස්ථානයක දී අල්ලා නිලධාරීන්ට බාර දීමට පුද්ගලයින් දෙදෙනේ සමත් වේ. පසුව සරදියෙල් ගේ තවත් සගයින් දෙදෙනෙකු සිය කැමැත්තෙන්ම පොලිසිය ට බාර වී ඇත.

ඒ සමගම ඉහලගිය තෑගි මුදල නිසා සරදියෙල් අල්ලා දීමට කටයුතු කරන ‘සිරිමලා‘ නම් සරදියෙල් ගේ සගයකු ගේ ගේ මග පෙන්වීම අනුව කෑගල්ලේ උප දිසාපති එෆ්. ආර්. සෝන්ඩර්ස් කටයුතු ආරම්භ කරන්නේ මාර්තු 17 වැනිදා ය. ඊට ආසන්න ම දිනක දී සරදියෙල් කෑගල්ලෙන් පැමිණෙන තැපැල් කරත්තය ආපසු හරවා යවන අතර මාවනැල්ලේ පාලම වෙඩි බෙහෙත් දමා විනාශ කිරීමට ද සමත් වේ. සරදියෙල් ගේ අවසන් කොල්ලකෑම වන දුම්රිය සේවයට අයත් මුදල් පෙට්ටියක් කොල්ල කෑමෙන් උප දිසාපතිවරයා ට දරුණු අපහාසයක් කිරීමට ද සරදියෙල් සමත් වේ.

සරදියෙල් ඇල්ලීමට දරණ මෙම උත්සාහයේ දී කිහිප දෙනෙක්ම සරදියෙල් සහ ඔහු ගේ අතිජාත මිත්‍රයා සහ ප්‍රධානම සගයා වන මම්මලේ අතින් මිය යෑම නිසා එම දිනවල උතුවන් කන්ද අවට ප්‍රදේශය බියෙයන් ඇලීළී යන අතර රාජකාරිය ඉටුකිරිමට යෑමේ දී යන පළමු පොලිස් භටයා ලෙස සැලකෙන ජෝර්ජ් ෆොනාට් සරදියෙල් ගේ වෙඩි පහරකින් මිය යන්නේ මේ දිනවලදී ය.

මාර්තු 17 වැනිදා සිට සරදියෙල් වැටලීමට සෝන්ඩර්ස් උපදිසාපතිවරයා කටයුතු කරන්නේ විශාල පිරිසක් සමගිණි. මාර්තු 22 වැනි දා ලක්රිවිකිරණ පුවත් පත වාර්ථා කරන අන්දමට මිනිසුන් 75 දෙනෙක් පමණ සමග උපදිසාපතිවරයා සරදියෙල් වැටලීමට පැමිණෙන අතර 18 වැනි දා නුවරින් අශ්ව කෝච්චි දෙකකත්, කොළඹින් අශ්ව කෝච්චියකත් ජා සොල්දාදුවන් උතුවන් කන්දට පැමිණ තිබේ. නැවතත් 19 වැනිදා ද අශ්ව කෝච්චියකින් ජා සොල්දාදුවන් පැමිණ ඇත.

ඒ අතර 18 වැනි දා සරදියෙල් නිතර යන එන කාදර් ගේ නිවසට ගිය සෝන්ඩර්ස් උපදිසාපතිවරයා ඇතුළු සොල්දාදුවන් සහ පිරිස කාදර් ඔහුගේ බිරිඳ සහ ඇගේ සහෝදරිය මෙන්ම සරදියෙල් ගේ පියා වූ අදාසි අප්පු ද ඇතුළ තවත් කිහිප දෙනෙක්ම අත් අඩංගුවට ගෙන කෑගල්ලේ බන්ධනාගර ගත කළේ ය. එ සේම සරදියෙල් ගේ මව සිටි නිවස ද කඩා ගිනි තැබීම ට ද උප දිසාපතිවරයා ඇතුළු පිරිස අමතක කළේ නැත.

සරදියෙල් සිටින තැන ගැන නිවැරදි ඔත්තුව ඔහුගේ ම සගයෙක් වන සිරිමලාගෙන් ලැබෙන තුරු ප්‍රමාද වන උපදිසාපතිවරයා විසින් රටේ මහත්තයාට සහ කෝරාලලාට නියෝග කරන්නේ එක් අයෙක් මිනිසුන් 500 බැගින් ගෙන එන ලෙසයි. එසේම ඔවුන්ට දින 3කට සෑහෙන කෑම ද රැගෙන 21 වැනි දා උදෑසන 6ට පැමිණෙන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබුණි.

21 වැනි දා උදෑසන කාදර් ගේ නිවසේ සොල්දරය උඩ සරදියෙල් සහ මම්මලේ රැඳී සිටින බවට සිරිමලාගෙන් ලද ඔත්තුව අනුව නිවස වැටලූ පොලිස් නිලධාරීන් ගෙන් සැරයන් මහාත් (අහමත්) තැබූ වෙඩිල්ලෙන් සරදියෙල් ගේ අතක් සහ කකුලක් තුවාල විය. සරදියෙල් තුවාල ලැබීමෙන් උදම් වූ කොස්තාපල් සභාන් සරදියෙල්ට සමච්චල් කරමින් සොල්දරය ඉහලට නගින විට මම්මලේ තැබූ වෙඩ්ල්ලෙන් එතැනම මැරී වැටුණේ ය. මම්මලේ ගේ දෙවැනි වෙඩිල්ල පත්තු නොවී තුවක්කුව තුල වූ මූනිස්සම් හිර වීම නිසා සැරයන් මහාත් ගේ දිවි ගැලවුණි.

ඒ අතර ඉක්මනින්ම පොලිස් කොස්තාපල්වරුන් සහ ජා සොල්දාදුවන් 25 දෙනා බැගින් සහ තවත් සිංහල මිනිසුන් 500කට වැඩි පිරිසක් සමග එතැනට පැමිණි උපදිසාපතිවරයා ද කෙසේ හෝ සරදියෙල් අල්ලා ගැනීමට දරණ ලද උත්සාහයේදී සරදියෙල් සැඟවී සිටි නිවසට පමණක් නොව යාබදව පිහිටි නිවස ට ද ගිනි තබා ඇත. යාබද නිවස සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වද්දී සරදියෙල් ව එළියට ගැනීම සඳහා සැඟවී සිටි නිවසට මාවනැල්ල සහ අරණායක ප්‍රදේශයේ බොහෝ ප්‍රමාණයක් පිදුරු සහ පොල් අතු දමා ගිනි තැබුවත් විනාශ වී නොමැත.

ඒ අතුතර දිගටම වෙඩි හුවමාරුව සිදු වූ අතර උප දිසාපතිවරයා තවත් සොල්දාදුවන් සහ කාලතුවක්කු හතරක් ද එවන ලෙස මහනුවර ට පණිවිඩ යවා තිබුණි. උප දිසාපතිවරයා කාලතුවක්කු හතරක් ඉල්ලා පණිවිඩ යවන්නට ඇත්තේ වෙන කිසිවකට නොව සරදියෙල් සැඟවි සිටි නිවස ගිනි තැබීමෙන් ද විනාශ කළ නොහැකි නිසා අවසන් වශයෙන් කාලතුවක්කුවලින් හෝ වෙඩි තබා සරදියෙල් සමගම හෝ විනාශ කිරීමට ය. ඒ ක්‍රියාවෙන් ම සරදියෙල් අල්ලා ගැනීමට එවක ඉංග්‍රීසි ආණ්ඩුව මොන තරම් උත්සාහයක් ගෙන ඇත්දැ‘යි කියා සිතෙන අතරම එය තවත් කුඩා හමුදාවක් යටත් කර ගැනීමට කරන යුද්දයකට සමාන වී ඇති බව ද පෙනී යයි.

කාල තුවක්කු ලැබීමට පෙර සිදු වූ වෙඩි හුවමාරුවේදී මම්ලේ ද තුවාල ලැබීම නිසා සරදියෙල්ගේ පාර්ශවයෙන් වෙඩි තැබීම නතර විය. මධ්‍යාහනය වන විට සරදියෙල් සඟැව සිටි නිවස අසළ ට ගොස් කථා කළ විට යටත් වීමට ඔහු කැමැත්ත පල කිරීම නිසා උප දිසාපතිවරයා ඇතුළු පිරිස නිවස තුළට ගොස් සරදියෙල් සහ මම්මලෙ දෙදෙනාව අත් අඩංගුවට ගැනීමට සමත් විය.

පුවත් පත් වාර්ථාවන්ට අනුව තුවාලවී සිටි දෙදෙනා උපදිසාපතිවරයාට බඩගිනි‘යි යැයි පැවසූ විට පිස්කට්,පිට්ටු සහ කෙසෙල්ගෙඩි ද, බීමට බ්‍රැන්ඩි ද ලබා දී ඇත. අප්‍රේල් 04 වැනි දා සරදියෙල් සහ මම්මලේට එරෙහි නඩුවු විභාග කිරීම ආරම්භ විය. තීන්දුව වූයේ කවුරුත් බලාපොරොත්තු වූ ලෙසම දෙදෙනාටම මරණ දණුඩනය යි. සරදියෙල් සහ මම්මලේ මිතුරන් දෙදෙනා තීන්දු හමුවේ නොසැළුණු බව ද වාර්ථාවේ. ඔවුන් දෙදෙනා වෙනුවෙන් පාර්සන් සහ ලැන්ග්බර්ග් නම් පෙරනදෝරුවන් දෙදෙනා පෙනී සිටි බව ‘ලක්රිවිකිරණ‘ සහ ‘ටයිම්ස්‘ පුවත් පත් වාර්ථා කළේ ය.

නඩු විභාගයෙන් පසුව දෙදෙනා බන්ධනාගාරය වෙත ගෙන යෑම බැලීමට ද, ඔවුන් අල්ලා ගත් දිනයේ නුවරට ගෙන එන විට මඝ දෙපස රැස් ව සිටි පරිදිම දහස් ගණනක් ජනතාව රැස් වී සිට ඇත. තවත් විශේෂත්වයක් වූයේ සරචියෙල්ගේ සහ මම්මලේගේ ඡායාරූපද මුද්‍රණය කර විකිනීම ට මඟ දෙපස තිබීම යි.

එබැවින් මාර්තු 21 වැනි දා පොලිස් විරු සමරු දිනය සමරන විටම සූර සරදියෙල් අත්අඩංගුවට පත් වීමත් පසුව ඔහුව එල්ලා මරා දැමීමත් එක ළඟම සිහි කිරීම සාමාන්‍යයෙන් සිදු වන කටයුතුත්තකි. එබැවින් ඉබේම පොලිස් විරු සමරු දිනය ජනතාව විසින් සිහි කිරීමක් සිදු වන්නේ නැත.

සාමාන්‍ය ජනතාව ද සභාන් යනු කවුදැ යි හඳුනන්නේ නැත. නමුත් සරදියෙල්ව කවුරුත් හඳුනති. සරදියෙල්ව හඳුනන්නේ නිකම්ම සරදියෙල් ලෙස නොව සූර සරදියෙල් ලෙසිනි. සරදියෙල් නමට ගී පද පවා ලියැවී ඇත. සරදියෙල්ගේ කථාව චිත්‍රපටිවලට ද, වේදිකා නාට්‍ය සහ ගුවන් විදුලි නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍යවලට ද නැඟී ඇත.

ඒ පොලිස් විරු සමරු දිනය මත ලියැවී ඇති ජනප්‍රිය කථාවයි. සරදියෙල්ගේ කථාවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button