ක්‍රීඩා

ගිනස් වාර්තාවක් හිමිවිය යුතු කමාල්ඩීන් සොහොයුරෝ

එකම පවුලේ සහෝදරයන් එක් කණ්ඩායමකට ක්‍රීඩා කළ අවස්ථා ලෝක පාපන්දු ඉතිහාසයෙන් අපට හමු වේ. මේ ආකාරයෙන් සහෝදරයන් දෙදෙනෙක් එකම කණ්ඩායමට ක්‍රීඩා කළ අවස්ථා බොහෝ ගණනක් අපට දැක ගත හැක. එහෙත් රටක ජාතික පාපන්දු කණ්ඩායමකට එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු ක්‍රීඩා කිරීම අතිශයින්ම විරල සිදුවීමකි. එය ලෝක වාර්තාවක් බව පෙනී යන්නේ තවත් එවැනි අවස්ථා තිබේ දැ යි විමසා බැලීමේ දී ය. පසුගිය ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය ඊට ළඟම උදාහරණය සපයන්නේ බෙල්ජියම නියෝජනය කළ හසාර්ඩ් සොහොයුරන් තිදෙනා වන ඒඩ්න්, තෝර්ගන් සහ කිලියන් සොහොයුරන්ය. 2010 දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සඳහා පැමිණි කණ්ඩායමකද එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් සිටියේය. ඒ හොන්ඩ්‍යුරාස් කණ්ඩායමේ ජොනී, ජෙරී සහ විල්සන් යන පැලාසියෝස් සොහොයුරන්ය. ඔවුන් සම්බන්ධයෙන් ‘ක්‍රීඩා පුවත්පත් විශේෂාංග‘ මේන්ම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන්වලද ප්‍රචාරය වී තිබේ.

එහෙත් එවැනි වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩාම නියෝජනය කළ සොහොයුරන් තිදෙනෙක් පිළිබඳව කිසිදු වාර්තාවක් නොමැතිවම එම කථාව වැළලී යමින් තිබේ. බදුල්ලෙන් බිහි වූ ඔවුන් කබීර් සොහොයුරන් ලෙසඅප හඳුන්වමු. කමාල්ඩීන් අබ්දුල් කබීර්, කමාල්ඩීන් මෙහොමඩ් අනීස් සහ කමාල්ඩීන් සොහොමඩ් ෆුවාඩ් එම සහෝදරයන්ය.

එම අසමසම වාර්තාවට හිමිකම් කියන සහෝදරයන් තිදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා වන අබ්දුල් කබීර් යනු ඔවුන් තිදෙනාගෙන් වැඩිම කාලයක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයායි. ජාතික කණ්ඩායම නියෝජනය කරන විට ඔහුගේ වයස අවුරුදු 18කි.

‘‘මේ සිද්ධිය වුණේ 2000 මාලදිවයිනේ තිබුණ ජනාධිපති රන් කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේ දී. එදා අපි ග්‍රවුන්ඩ් එකට ආවේ ෆයිනල් එක දිනලා කප් එක අනිවාර්යෙන්ම ලංකාවට ගේනවා කියලා හිතාගෙනමයි. ඒ වෙන කොට අපි ජාත්‍යන්තර තරඟාවලියක් 1995න් පස්සේ දිනලා තිබ්බේ නැහැ. 1995 අපි සාෆ් රන් කුසලානය දිනුවා. ඒ ලංකාවෙදි. නමුත් ලංකාවෙන් පිටත අපි කප් එකක් දිනලා තිබ්බේ නැහැ. ඒ නිසා මේ කප් එක දිනුවොත් ඒක ඉතිහාසගත වෙන වැඩක්.

‘‘සාෆ් රන්කුසලානය දිනපු ටීම් එකේ හිටිය රොෂාන් පෙරේරා තමයි අපේ කැප්ටන්. ඒක අපිට ලොකු ශක්තියක් වුණා. සාෆ් රන් කුසලානය දිනන අවස්ථාවේ හිටිය බ්‍රසීල පුහුණුකරුවනුත් නැවත ඇවිල්ල හිටිය. ඒ වාසියත් අපිට තිබුණා. ෆයිනල් එක තිබුණේ මාලදිවයින් ටීම් එකත් එක්ක. පළමු වටේදි අපි 2-0ට මාලදිවයින පරාද කරල හිටිය නිසා තරඟයට පෙර අපි ලොකු මානසික ශක්තියක හිටියා. මාලදිවයින් ටීම් එකට තිබුණ වාසිය තමයි තමයි ග්‍රවුන්ඩ් සපෝට් එක තිබුණ එක. හොඳ තරඟයක් තිබුණා. ඒ අයට තමන්ගේ නිදහස් ස්වර්ණ ජයන්ති කුසලානයට පවත්වන ජනාධිපති රන් කුසලානය වටිනවනේ. කොහොම හරි පෙනල්ටිවලින් තමයි අපේ ජයග්‍රහණය තීරණය වුණේ. රටින් පිට ගත්ත ජයක් නිසා වටිනාකම ගොඩක් වැඩියි.

අපි දිනපු කුසලානයත් එක්ක කණ්ඩායම ම ඡායාරූපවලට පෙනී හිටියා. ජීවිතේ කිසිම දවසක අමතක කරන්න බැරි සිද්ධිය වුණේ ඊට පස්සේ. තරඟාවලිය අපිත් එක්ක ගිය සහායක පුහුණුකරුවෙක් වුණ සුමිත් මාස්ටර් අපි තුන්දෙනාව එකට තියලා තව ඡායාරූපයක් ගන්න කිව්වා. ඒ වෙලාවේ මට ඒක ඒතරම්ම තේරුණේ නැහැ. ඒත් දැන් මට ඒ ඡායාරූපයේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

මම දන්නේ නැහැ අපි තුන්දෙනා එකම තරඟයකට ක්‍රීඩා කළ ලෝකයේ පළවෙනි සහෝදරයෝ තුන්දෙනා ද කියලා.ඒත් ඒ ඡායාරූපය දකිද්දී වචනයෙන් කියන්න බැරි සතුටක් දැනෙනවා.

මම ඉපසුනේ බදුල්ලේ, දන්න කාළේ ඉඳලා පාපන්දු තමයි ක්‍රීඩා කළේ. බදුල්ල අල් අදාන් විද්‍යාලයේ ඉගෙන ගන්න අතර තමයි මගේ පාසල වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළේ. ඉන් පස්සේ බදුල්ල කොම්රෙඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. 1991 දී මට අවුරුදු 17 වෙන කොට ශ්‍රී ලංකා පාසල් කණඩායමට තේරුණා. 1992 තායිලන්තය තිබුණ ආසියානු පාසල් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා. ම‍ගේ දක්ෂතා නිසා ඒ අවුරුද්දෙම මාව ජාතික කණ්ඩායමට තේරුණා. එතකොට මට අවුරුදු 18යි. 2002 වෙනකම්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. කොළඹ ආව ගමන් මුලින්ම රත්නම් ක්‍රීඩා සමාජයට අවුරුදු පහක් ක්‍රීඩා කළා. ඉන් පස්සේ රිනවුන් එකට අවුරුදු තුනක් ක්‍රීඩා කළා. අන්තිම අවුරුදු දෙක නිගම්බු යූත් එකට ක්‍රීඩා කළා.

මගේ ලොකු මල්ලී අනීස් එයත් මම ගිය පාසලේම ඉගෙන ගත්තා. රිනවුන් සහ නිගම්බු යූත් කණ්ඩායමවලට ක්‍රීඩා කළා. 1996 ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරලා 1997 ජාතික කණ්ඩායමට එනවා. බාල මල්ලී ෆුවාඩ් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ඉගෙන ගත්තේ එයා ඉක්මනටම පාසල් කණ්ඩායට තේරුණා.ඒ 1997දී. ෆුවාඩ් 1998 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වුණා.

එතන ඉඳලා අවුරුදු තුනක්විතර අපි තුන්දෙනා එකට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළා. ආසියානු කුසලානය, 1999 සාෆ් රන් කුසලානය, 2000 මාලදිවයින් නිදහස් ස්වර්ණ ජයන්ති ජනාධිපති රන් කුසලානය වගේ ජාත්‍යන්තර තරඟාවලි කිහිපයක්ම අපි තුන්දෙනා එකට ක්‍රීඩා කළා. විශේෂත්වය තමයි පළවෙනි ක්‍රීඩාකයින් එකොළොස් දෙනාට අපි ක්‍රීඩා කරපු එක.

ඒ කාළේ අපි ක්‍රීඩා කරනවා බලන්න අපේ ගමේ, පාසලේ වගේම බදුල්ලේ පාපන්දු ලෝලීන් කොළඹ එනවා. ඔවුන්ට ලොකු ගෞරවයක් අපි තුන්දෙනා එකටම අවුරුදු ගණනාවක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ එක‘‘

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button