විදේශීය

පීඩිත ජනතාවගේ සාන්තුවරයා ඔස්කා රමේරෝ

සිය දේශනය පවත්වමින් සිටි අගරදගුරුවරයා සාමාන්‍යයෙන් පවත්වන ආගමික දේශනයෙන් ඔබ්බට ගියේ සිය කතෝලික බැතුමතුන් මෙන්ම සියලුම රට වැසියන් සඳහා වන ඉල්ලීමක් ද දේශනයට ඇතුලත් කරමිනි. එම දේශනයේ දී අගරදගුරුතුමා රටේ හමුදා සොල්දාදුවන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

‘‘දෙවියන්ගේ නාමයෙන් සහෝදර රටවැසියන් වෙත එල්ල කරන ප්‍රචණ්ඩත්වය නවතා දමන්න. අමානුෂික වන කිසිදු නියෝගයක් පිළිපදින්න එපා‘‘

මෙතෙක් කළක් සිතේ සිරකර ගෙන සිටි ඉල්ලීමක් එදින අගරදගුරුතුමන් ප්‍රසිද්ධියේ පැවැසුවේ රටේ සිදු වන ඝාතන සහ අපරාධවලට එරෙහිව තම හඬනැඟීම උච්චම ස්ථානයට පත් කරමිනි. 1980 මාර්තු 23 වැනි දා වූ එදින අගරුදගුරුවරයා නැවත තම දෙව් මැඳුර තුළට පැමිණි අතර පසු දා එනම් මාර්තු 24 වැනි දා අගනුවර දිව්‍යදාන රෝහලට සම්බන්ධකරමින් ඉඳිකර ඇති දිව්‍යදාන දෙව්මැඳුරේ සවස දිව්‍ය පූජාව පැවැත්වීය. දිව්‍ය පූජාව පවත්වා අවසන් වනවාත් සමඟම දේවස්ථානය ඉදිරියට පැමිණි මෝටර් රථයකින් පිටතට පැමිණි නාඳුනන තුවක්කුකරුවෙක් දේවස්ථානයේ දොරටුව කරා පැමිණ අගරදගුරුවරයාට වෙඩි තැබීය.

ලතින් ඇමෙරිකානු රටක් වන එල් සැල්වදෝර් අගනුවර වන සැන් සැල්වදෝර් හි අගරදගුරුවරයා වූ ඔස්කා රමේරෝ අගරදගුරුවරයාගේ ජීවිතය වයස අවුරුදු 63 දී අවසන් වූයේ එලෙසිනි.

1917 වසරේදී උපන් ඔස්කා රමේරෝ සැන් සැල්වදෝර් හි ජාතික සෙමනේරියෙන් සහ ඉතාලියේ ග්‍රිගෝරියන් සරසවියෙන් දේව ධර්මය උගෙන පැමිණ එල් සැල්වදෝර් කතෝලිකයන් වෙනුවෙන් සිය දේව මෙහෙවර ඇරඹීය. පළමුව සැන් මිගෙල් ප්‍රදේශයේ සේවය කළ කාලයේ දී වැඩි වශයෙන් ම දිළිඳු ජනතාව වෙත සිය සේවය කැප කළ ඔහු 1977 වසරේ දී සැන් සැල්වදෝර් අගනුවර අගරදගුරු ලෙස පත්වීම් ලැබුවේය.

ප්‍රජාතන්ත්‍රවාදය ඈතට යමින් තිබූ එල් සැල්වදෝරයේ 1979 සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් පසු බලයට පත් වූයේ ඒකාධිපතියෙකි. ඉන් පසුව රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන් ම මිලිටරිමය ස්වරූපයක් ගත් අතර ජනතාවගේ සිවිල් නිදහස අහිමි විය. ඒ සමඟම ඔස්කා රමේරෝ අගරදගුරුවරයාගේ කාර්යභාරය ද ඉහළ ගියේය. දිනෙන් දින පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඔහුගේ දෛනික රාජකාරියක් විය. රට තුළ ඝාතන ඉහළ ගිය අතර ඝාතන කල්ලි කිහිපයක්ම ක්‍රියාත්මක විය.

රජයේ මෙන්ම දක්ෂිණාංශික ඝාතක කල්ලිවලට ද එක සේ විරුද්ධව හඬ නැගූ රමේරෝ අගරදගුරුවරයා ඉල්ලා සිටියේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.‍ හමුදා පාලකයින්ට මෙන් ම ඝාතක කල්ලිවලට ද ඒ හඩ නෑසුණු අතර ඔහුගේ ජනතා සේවයට රට වැසියෝ සියල්ලන්ම බැඳී සිටිය හ. රට තුළ තත්ත්වය තවත් දරුණු වන විට අගරදගුරුවරයා පීඩිත ජනතාව වෙනුවෙන් ඒකාධිපති රජය සහ ඝාතක කල්ලි විවේචනය කළේය.

මාර්තු 23 වැනි දා අගරදගුරුවරයාගේ දේශනයෙන් දිනකට පසු ඔහු ඝාතනය වන්නේ එහෙයිනි. එල් සැල්වදෝරයේ දුගී සහ පීඩිත ජනයාගේ අසහාය වීරයා වූ රමේරෝ අගරදගුරුවරයා ඝාතනය වීමෙන් පසුව රට තව තවත් අරාජික විය. පසුව වාමාංශික ව්‍යාපාරයක් සන්නද්ධ වී ඒකාධිපති රජය සහ දක්ෂිණාංශික ඝාතක කණ්ඩායම්වලට එරෙහිව සටන් ඇරඹීය. 1992 වසරේ එල් සැල්වදෝරයට සාමය ළඟා වන විට අසූදහසකට අධික පිරිසක් ගැටුම්වලින් මියගොස් සිටි අතර අතුරුදහන් වූ සංඛ්‍යාවද දහස් ගණනකි.

ඔස්කා රමේරෝ අගරදගුරුවරයා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වූ Nationalist Republican Alliance (ARENA) පක්ෂයේ සභාපති වූ රොබර්ටෝ ඩ‘ අබුසොයින් ද 1992 දී මිය ගිය පසු ඝාතනය පිළිබඳ අබිරහස තවමත් නොවිසඳී පවතී.

ඝාතනය වූ අගරදගුරුතුමන් සාන්තුවරයෙක් ලෙස සළකා කටයුතු කිරීමට එල් සැල්වදෝර් වැසියෝ ක්‍රියා කළහ. ඒ නිසාම ලෝක ජනමාධ්‍ය ඇස ද එල් සැල්වදෝරය දෙසට යොමු විය. පෙර සිටි දෙවැනි ජුවම් පාවුළු සහ 16 වැනි බෙනඩික් පාප්වරුන් ඒ සම්බන්ධව එතරම් උනන්දුවක් නොදැක්වුවත් වත්මන් පාප්තුමන් වන ෆ්‍රැන්සිස් පාප්තුමන් 2018 මැයි මාසයේ දී අගරදගුරු ඔස්කා රොමේරෝ සාන්තුවරයට ඔසවා තැබීම තහවුරු කරන ලද අතර ඉන් මාස පහකට පසුව ඔක්තෝබර් 14 වැනි දා වතිකානුවේ සාන්ත පීතර චතුරස්‍රයේ දී රමේරෝ අගරදගුරුතුමන්ව නිල වශයෙන් සාන්තුවරයට ඔසවා තබන ලදී.

ජනතාව සමඟ ජීවත් වූ ජනතාව වෙනුවෙන් හඬ නැඟූ අගරුදගරු රමේරෝ සාන්තුවරයට ඔසවා තැබීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වන්නේ එතුමන්ගේ වාමාංශික නැඹුරුවයි. වර්තමානයේ දී ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් එම නැඹුරුව තමන්ගේ ද දේව නැඹුරුව බව පසක් කරමින් රමේරෝ අගරදගුරුතමන්ව සාන්තුවරයට ඔසවා තැබීය.

රමේරෝ අගරදගුරුතුමන් සාන්තුවරයට ඔසවා තැබීමේ අවස්ථාවේ දී ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ප්‍රකාශ කර සිටියේ, ‘‘ඔස්කා රමේරෝ අගරදගුරුතුමන් තම ජනතාවට සහ දුගීන්ට සමීප වීම සඳහා තම පුද්ගලික ආරක්ෂාව ද පසෙක තැබුවේ ය‘‘ යනුවෙනි.

ඝාතනය වන අවස්ථාවේ දී රමේරෝ අගරදගුරුතුමන් පැළඳ සිටි ඉඟ පටිය මෙම අවස්ථාවේ දී පාප්තුමන් විසින් පැළඳ සිටියේ ගෞරවයෙනි. එය ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කළ ජනතා සේවකයෙකුට පාප්වරයෙකුට පිදිය හැකි උපරිම ගෞරවය ලෙස ද සැළකිය හැකිය.

මෙම මාර්තු 24 වැනි දා එල් සැල්වදෝර් ජනතාව මිය ගිය තම වීරයා වන සාන්ත ඔස්කා රමේරෝ සිහි කළේය. ඒ ඔස්කා රමේරෝ සාන්තුවරයාගේ දිනය හෙවත් රමේරෝ අගරදගුරුතුමන් ඝාතනය වූ දිනය ද බැවිනි. විශේෂත්වය වන්නේ ඔස්කා රමේරෝ සාන්තුවරයාගේ දිනය ලෝ වැසි පීඩිත. ජනතාව බලා සිටින දිනයක් වන අතරම රැඩිකල් මාධ්‍ය ද එවැනි සාන්තුවරයින් සිහි කිරීම් වාර්තා කිරීමට බලා සිටින බැවිනි. ඒ කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිවය. එයින් මාධ්‍ය දෙන පණිවිඩය වන්නේ සාන්තුවරයන් සිටිය හැක්කේ ජනතා හදවත් තුළ පමණක් බවයි. පාලකයින් සමඟ සිටින්නන්ට සාන්තුවරයන් විය නොහැකි බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button