දේශීය

නිරෝධායනය සමඟ කණ පලාගන්න රු. 290,000ක් අවශ්‍යයි

පසුගිය මාර්තු 15 වැනි දා කුවේට් රාජ්‍යයේ  සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණි ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයෙකු නිරෝධායනය වෙමින් සිටිය දී, එම නිරෝධායන කඳවුරේ මෙහෙයුම් බාරව සිටි හමුදා නිලධාරියෙකු පහර දීම නිසා රෝහල්ගත කර තිබේ. පහර දීමෙන් කණ් බෙරයට සිදු වූ හානි හේතුවෙන් ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුලත්කර තිබේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ‘බෙන්තොට එකෝ සර්ෆ්‘ හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි සම්පත් එදිරිසිංහ මුතුනායක නම් අයෙකි. මෙම විදෙස් ශ්‍රමිකයා මාර්තු 16 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී නිරෝධායන නීති උල්ලංඝනය වන ලෙස හැසිරීමේ දී ඒ සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් පහර දීම සිදු වී ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණ පවත්වන බවද වාර්තාවේ.

පහර කෑමට ලක්වූ ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයා රු. 290,000.00 මුදලක් නිරෝධායනය වෙනුවෙන් එකෝ සර්ෆ් හෝටලයේ පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට ගෙවා ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණ දිනක් ඇතුලත දී පහර කෑමට ලක්ව රෝහල් ගත විමට ඔහුට සිදු විය.

කොරෝනා වසංගතය ආරම්භයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට පැමිණි අවස්ථාවේ දී හමුදාවන් විසින් පවත්වා ගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර යන විට කරන ලද ස්තුතිවලින් රජයේ සහ රජයට පක්ෂපාතී රූපවාහිනී, ගුවන් විදුලි හා පුවත්පත් පිරී ගිය අතර නිරෝධයනය සඳහා මුදල් අය කිරීමක්ද නොකරන ලදී.

එහෙත් දැන් සිදුවී ඇත්තේ තමන් විසින්ම අධික මුදලක් නිරෝධායන ගාස්තු ලෙස ගෙවීමෙන් පසු අවසානයේ දී කණ ද පලා ගැනීමට බව අසරණව සිටින මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button