දේශපාලන

ජිනීවා චෝදනාවලින් බේරීමට ඉන්දු-චීන ග්‍රහණයට හසුවීම

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පසුගිය 23 අවසන් වූ බව පැරණි ප්‍රවෘතියකි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන මාතෘකාව යටතේ එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසිනි. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට පක්ෂව (එනම් ශ්‍රී ලංකාව රජයට විපක්ෂව) ඡන්ද 22ක් ලැබුණු අතර යෝජනාවට විපක්ෂව (එනම් ශ්‍රී ලංකා රජයට පක්ෂව) හිමි වූයේ ඡන්ද 11 කි. රාජ්‍යයන් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. ඒ අනුව වැඩි ඡන්ද 11කින් ‍යෝජනාව සම්මත විය.

ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාර්ෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, මහා බ්‍රිතාන්‍ය සහ උරුගුවේ යන රාජ්‍යයන් ඡන්දය පාවිච්චි කළේය.

යෝජනාවට විපක්ෂව බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටියේය.

වැඩියෙන්ම කථා බහට ලක්වූ ඡන්දය දීමෙන් වැළකුණු රටවල් වන්නේ බහරේන්, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබොන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මුරුටේනියාව, නැමීබියාව, නේපාලය, සෙනගාල්, සුඩානය සහ ටෝගෝ රාජ්‍යයන්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරය පසුගිය මාර්තු 23 අවසන් වූ බව පැරණි ප්‍රවෘතියක් වුවත් එහි දී ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමටත්, වත්කම් අත්හිටුවීමටත්, සංචාරක තහනම් ඇතුළු සම්බාධක පැනවීමත් නිර්දේශ කිරීම සම්බන්ධව ඇත්තේ අඩු කථා බහකි. ශ්‍රී ලංකාව මුහුණදුන් මෙම තත්ත්වය නොසැළකිය යුතු එකක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපාධිපති මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙවර ‘ඉරිදා ලංකාදීප‘ පුවත්පතට පවසා තිබුණි. ඔහුට අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන් මෙම තත්ත්වයට ම මීට පෙර ඊශ්‍රායලය හා කියුබාව මුහුණ දී ඇත. ඊශ්‍රායලය එය සතපහකටවත් ගණන් ගෙන නැති අතර ඒ ඔවුන් පසුපස ඇමෙරිකාව සිටි නිසාය. එසේම කියුබාවට චීනය ශක්තියක් වී තිබේ. ඉතිං අපිත් මෙය ගණන් ගත යුතු නැති බවත් මහාචාර්යවරයා පවසයි.

ගැටළුව වන්නේ ඊශ්‍රායලය ඇමෙරිකාව සමඟද, කියුබාව චීනය සමඟද ගනුදෙනු කළ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් තිබුණත් අපට එසේ  ස්වාධීනව ගනුදෙනු කළ හැකිද යන්නයි. ශ්‍රී ලංකා රජයට පක්ෂව ඡන්දය භාවිතා කළ චීනය මෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඩැහැ ගැනීමට කැස කවන අතර ඔවුන්ගේ පිහිට වැඩි වැඩියෙන් පැතීම යනු ශ්‍රී ලංකාව නම් අසාර්ථක සහ අරාජික රාජ්‍යයක් නිල වශයෙන්ම ‍ලෝක සිතියමට එක් වීමයි.

මේ වන විට රට තුළ ආර්ථික වැදගත් කමක් ඇති මර්මස්ථාන කිහිපයක්ම චීනය සහ ඉන්දියාව සතු වන අතර චීනය සිංහරාජ වනාන්තරයේ ජලාශ හැදීමේ ව්‍යාපෘතියකට උර දී සිටින අතර උතුරු මුහුදේ ඉන්දියාවට සමීප දූපත් දෙකක් ද අත්පත් කර ගනිමින් ව්‍යාපෘති සිදු කිරීමට සූදානම්වේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ල පලකර ඇති අතර ම කොළඹ වරායේ බටහිර ජැටිය දෙස ඉන්දියාව බලා සිටී. එසේම පළාත් සභා ඡන්දය පවත්වන ලෙසද ඔවුන් ශ්‍රී ලංකාවට බලකර සිටී.

ඒ අනුව පෙනී යන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජය විසින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනයන් නිවැරදි කිරීම සඳහා සාධාරණ පරීක්ෂණයකට රජයට බල කරන විට ශ්‍රී ලංකා රජය ඊට එරෙහි වී එම ‍චෝදනාවලින් ගැලවීම සඳහා ඉන්දියාවේ සහ චීනයේ සහාය ලබා ගැනීමට උත්සාහ දරන බවයි. ඉන් සිදුවන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලින් ගැලවීම සඳහා බලවත් ව්‍යාපාරික රටවල් දෙකක ප්‍රාන ඇපයට හසුවීමයි. දැනටමත් ශ්‍රී ලංකාවට එය සිදු වී අවසන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button