ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ මුල්ම පාපන්දු ඇකඩමිය ‘ෆස්ට් ටච්‘ (First touch)

පාපන්දු ක්‍රීඩාවට ශ්‍රී ලංකාව තුළ සියවසකටත් වඩා ඉතිහාසයක් ඇති අතර ම මෙරට පාපන්දු  ක්‍රීඩාව නැංවීම සඳහා පවත්වා ගෙන යනු ලබන පාපන්දු පුහුණු පාසල්වලට ද දිගු ඉතිහාසයක් ඇත. සෝන්ඩර්ස් පාපන්දු පුහුණු පාසල එහි ආරම්භය ලෙස සැළකිය හැකිය. එසේ වුවද වෘත්තීය මට්ටමින් මෙරට පාපන්දු ක්‍රීඩාව නඟා සිටුවීම සඳහාත්, ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු පුහුණුවක් වයස අවුරුදු 6න් ඉහළ ක්‍රීඩකයින්ට ලබා දීම සඳහාත් පාපන්දු පුහුණුව ඇරඹෙන්නේ ඉතාමත්ම මෑතක දී ය. 2016 දී ආරම්භ වන ‘ෆස්ට් ටච් ෆුට්බෝල් ඇකඩමිය‘ මඟින් එම කාර්යය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම පාපන්දු පුහුණුකරුවෙක් වන කේ.ඒ. කබීර් විසිනි. 1999 නේපාලයේ පැවැති සාෆ් පාපන්දු තරඟාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය පවා දරන ලද කබීර් ‘බී‘ ශ්‍රේණියේ පාපන්දු පුහුණුකරුවෙකි.

‘‘සිරිසේන මාස්ටර් තමයි ලංකාවේ කණිෂ්ට ක්‍රීඩකයින්ට පාපන්දු පුහුණු කරන්න පටන් ගත්තේ ‘පුහුණු කඳවුරු‘ (Coching camp) තියලා. දැන් ඒ සංකල්පයට අවුරුදු 50කටත් වැඩියි. ඒ සංකල්පය සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයටම ආවේණික එකක්. ලංකාවේ පාපන්දුවලට ආදරය කරන හැමෝම ගරු කරන්න ඕන සිරිසේන මාස්ටර්ට. එයා තමයි ශ්‍රී ලංකා කණිෂ්ට පාපන්දු පුහුණුවේ පුරෝගාමියා.

‘‘මම කල්පනා කළේ වෙන විධිහකට. මට ඕන වුණේ වෘත්තීය මට්ටමේ පාපන්දු ලංකාවේ ඇති කරන්නයි. වෘත්තිය මට්ටමේ ඇකඩමියක් නැතිව ඒක කරන්න බැහැ. මම දන්න දේ හරියටම අනාගත පරපුරට දෙන්න නම් ඉතාමත්ම විධිමත්ව මේ දේ කරන්න ඕන කියලා හිතුවා. පාපන්දු ක්‍රීඩාවට ලංකාවේ පාපන්දු නංවන්න නම් හැම සමාජ මට්ටමක්ම පාපන්දුවලට යොමු වෙන්න ඕන. ලංකාවේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් වගේම ඉහළ මධ්‍යම පන්තිය පාපන්දු එක්ක කරන ගනුදෙනුව හුඟක් අඩුයි. මට ඕන වුණා ඒ අයගේ සහභාගිත්වයත් වැඩියෙන් පාපන්දුවලට යොමු කර ගන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි ‘කැලණිය ෆර්ස්ට් ටච් ෆුට්බෝල් ඇකඩමි‘ ය. ඒක තමයි ‘ඇකඩමි‘ කියන සංකල්පයෙන් ලංකාවේ ආරම්භ වුන පළමු පාපන්දු ඇකඩමිය. දැනටත් 100කට ආසන්න දරුවන් පිරිසක් එහි පුහුණුව ලබනවා. මගේ උත්සාහය නිසා ශ්‍රී ලංකා පාපන්දු සංගමය මට කැලණිය පාපන්දු සංකීර්ණ ක්‍රීඩාංගණය නොමිලේ ලබා දෙනවා ඇකඩමියේ පුහුණුව සඳහා.

කබීර් කණිෂ්ට ක්‍රීඩකයින් පුහුණු කරමින්

ඒ අවුරුද්දේම තමන්ගේ ගම වුණ බදුල්ලේදී ‘ෆර්ස්ට් ටච්‘ නමින්ම ඇකඩමියක් ආරම්භ කිරීමට කබීර් සමත් විය. එහි පුහුණුව ලබන කණිෂ්ට ක්‍රීඩකයින් සංඛ්‍යාව 50ක් පමණ වේ. 2017 කොළඹ තුරඟ තරඟ පිටිය කේන්ද්‍ර කරගනිමින් ‘බාසිලෝනා‘ ෆුට්බෝල් ඇකඩමිය ඔහු ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. 250ක පමණ අංකුර පාපන්දු ක්‍රීඩකයින් පිරිසක් එහි පුහුණුව ලබයි.

ඉන් පසුව හතු පිපෙන්නා සේ දිවයින පුරා පාපන්දු ඇකඩමි බිහි විය. මේ වන විට පාපන්දු ඇකඩමියක් නොමැති දිස්ත්‍රික්කයක් නැති තරම්ය.

පාපන්දු සංගමය මඟනි 2017 වසරේ පවත්වනු ලැබූ අන්තර් පුහුණු පාසල් පාපන්දු තරඟාවලියේ 12න් පහළ තරඟාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට බාසිලෝනා ඇකඩමිය සමත් වූ අතර 2018 තරඟාවලියේ 14න් පහළ ශූරතාවය හිමිර ගැනීමට ද ඔවුන් සමත් විය.

පුහුණු වන ‘බාසිලෝනා‘ ඇකඩමි කණිෂ්ට ක්‍රීඩකයින්

ෆස්ට් ටච් සහ බාසිලෝනා ඇකඩමි හරහා බිහිවූ කණිෂ්ට ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගැන ඇගයීමක් කරන කබීර් පවසා සිටින්නේ,

‘‘මෙතනින් අනිවාර්යයෙන්ම හොඳ විනයක් තියෙන දක්ෂ ක්‍රීඩකයො බිහි වෙනවා. අපි නොහිතපු සමාජ මට්ටම්වල අය තමන්ගේ දරුවා අපි ලඟට ගෙනල්ලා බාර දීලා යනවා. ක්‍රීඩකයින් කියන්නේ රටක තානාපතිවරු වගේ පිරිසක් ඔවුන්ගෙන් තමයි විදේශිකයින් අපේ රට මැනින්නේ. ඒ අයගේ හැසිරීම අනිවාර්යෙන්ම රටේ හොඳ නමත් එක්ක බැඳිලා තියෙනවා. පාපන්දු ක්‍රීඩා කරාට මදි, දක්ෂ වුණාට මදි, ඒ එක්කම හොඳ විනයක් අවශ්‍යයි. ඒ විනය එකතු වුණාම දක්ෂ ක්‍රීඩකයෝ ලෝකයට සම්පතක්. එහෙම ක්‍රීඩකයින් ගැන තමයි අවරුදු සිය ගාණක් මිනිස්සු කථා වෙන්නේ.

‘‘මම ලංකාවට බිහි කරන්නේ ඒ වගේ ක්‍රීඩකයින් පිරිසක්. මම හදන්නෙ හොඳ පාපන්දු අනාගතයක්‘‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button