විදේශීය

ඊශ්‍රායලයට එරෙහිව විමර්ශන කරන්න පුළුවන් – ජාත්‍යන්තර අපරාධ අධිකරණය කියයි

මානව හිමිකම් කියන්නේ දුර්වලයාගේ නීතිය. ප්‍රජාතන්ත්‍රවාදයට වගේම මනුෂ්‍යත්වයට ගරු නොකරන යුද අපරාධ කරන ශක්තිමත් රාජ්‍යන්ට මානව හිමිකම් කියන්නේ වහ කදුරු වගේ දෙයක් කියල කියන්න පුළුවන්. ඒක සනාථ කරන සිදුවීමක් පසුගිය පෙබරවාරි මාසේ සිදු වුණා. ඒ තමයි පලස්තීන අධිකාරියට විරුද්ධව ඊශ්‍රායලය විසින් සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැකි සිය අධිකරණ බල ප්‍රදේශයට පලස්තීනය අයත් වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිල වශයෙන් පිලිගැනීම.

ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව ආරම්භ කළ 2014 යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් එවැනි යුධ අපරාධ අඩුම වශයෙන් තුනක්වක් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බව මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන විමර්ශන නිලධාරිනිය වන ෆාටෝයු බෙන්සෝඩා විසින් මීට පෙර 2019 වසරේ දී ජාත්‍යන්තරඅපරාධ අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා. ඒ වසර පහක කාලයක් පුරා කළ විමර්ශනයකින් පසුවයි. ඒවගේම පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් කරණු ලැබූ අපරාධ පිළිබඳව ද ඇය සිය වාර්තාවේ දක්වා තිබුණා. විශේෂයෙන්ම හමාස් සංවිධානය විසින් සිදු කළ අපරාධ එම වාර්ථාවට ඇතුළත්. ඔවුන් විසින් පුද්ගලයින් නීති විරෝධීව රඳවා තබා ගැනීම, වධහිංසා කිරීම, නිරායුධ පුරවැසියන් මිනිස් පලිහවල් ලෙස භාවිතා කිරීම, සිවිල් වැසියන්ට සහ සාමාන්‍ය ජනතාවගේ දේපලවලට ප්‍රහාර එල්ල කළ බවට ද එම කණ්ඩායම්වලට චෝදනා එල්ල කර තිබුණා.

ඒ අනුව ඊශ්‍රායල් හමුදා වගේම පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සිදු කළ අපරාධ සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරිනිය සිය වාර්තාවේ දක්වා තිබූ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පිළිගැනීම අනුව සිය විමර්ශන ඉදිරියට ගෙනයාමට හැකි වනු ඇත. 2014 සිදු වූ එමගැටුමේ දී පලස්තීන වැසියන් 2,251ක් සහ ඊශ්‍රායල් වැසියන් 74ක් මිය ගියා. මිය ගිය අයගෙන් පලස්තීන බහුතරය සාමාන්‍ය ජනතාව. ඊශ්‍රායල් බහුතරය යුද සෙබළුන්

මෙතන වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලය කියන බලවත් රාජ්‍ය සිදු කළ බවට චෝදනා එල්ල වන යුධ අපරාධ ගැන විමර්ශනය කිරීමයි. විශේෂයෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ලෝකය පුරා රැල්ලක් ලෙස හමා ගිය ඉස්ලාම් විරෝධය වගේම ඉස්ලාම් සටන්කාමී කණ්ඩායමවලට එරෙහි දැනටත් තහනම් පැවැතිය දී ඇමෙරිකාව ප්‍රමුඛ ඊශ්‍රායලය එම විරෝධයේ පෙරගමන්කරුවන්ව සිටිය දී ඉස්ලාම් ජනතාවට එරෙහිව කළ ප්‍රහාරයන්ට සාධාරණයක් කිරීමට අවශ්‍ය විමර්ශනයන් සිදු කිරීමයි.

පලස්තීන ඊශ්‍රායල් අර්බුදයට ලොකු ඉතිහාසයක් තියෙනවා. 1967 සය දින යුද්ධයෙන් පසු ඊශ්‍රායලය විසින් ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය, සිරියාවේ ගෝලාන් කඳුකරය වගේම ජෝර්දානයේ බටහිර ඉවුර තම පාලන ප්‍රදේශයට ඈඳෑ ගත්තා. ඒ වගේම පලස්තීනය වටේම ඊශ්‍රායල් ජනාවාස ඇති කළා. මේ ගැටුම් විශාල ලෙස ඉහළ ගිහින් මැද පෙරදිග කලාපයේ ලොකුම දේශපාලන අර්බුදය වගේම දිගුකල් පැවැති සිවිල් යුද්ධය බවට පත් වුණෙත් පලස්තීන-ඊශ්‍රායල් ගැටුමයි.

නමුත් 1993 දී ඇමරිකා ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ද මැදිහත් වීමෙන් පලස්තීන-ඊශ්‍රායල් නායකයින් නොර්වේ හි දී ඔස්ලෝ සම්මුතියට එකඟ වුණා. ඒ සාම ගිවිසුමෙන් ඊශ්‍රායලය පලස්තීන අධිකාරිය පිලිගත්තා. පලස්තීන නායක යසර් අර්ෆත් සහ ඊශ්‍රායල් අගමැති යිට්ශාක් රාබීන් ඒ ඓතිහාසික ගිවිසුමට එලඹුනා. ඊශ්‍රායල් යුදවාදීන් එය පිලිනොගත් නිසා  1995 දී ඔවුන්ගේ වෙඩි පහරකින් රාබීන් ඝාතනය වුණා. ඉන් පසු ගැටුම් ඇති වුණත් අවස්ථා කිහිපයක දීම නැවත නැවත ඊශ්‍රායල්-පලස්තීන එකඟතා ඇති වුණා. ඒ අතර පලස්තීන අධිකාරිය දිගටම අර්ෆත්ගේ ‘ෆාටා‘ සංවිධානයේ පාලනයේ පැවතුනා.

නමුත් හමාස් වැනි සටන්කාමී කණ්ඩායම් දිගටම සටන් කළා. ඔවුන් අර්ෆත්ගේ ‘ෆාටා‘ සංවිධානය දැක්කේ පලස්තීන විමුක්ති සටන පාවලා දෙන ද්‍රෝහීන් ලෙසයි. හමාස් සංවිධානය යටතේත් පලස්තීන සරණාගතයන් සිටි ගාසා තීරය පාලනය වුණා. කෙසේ වුණත් 2012 දී පලස්තීන අධිකාරියට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් වෙන්න හැකියාව ලැබුණා.

අවසානයේ දී 2017 ඔක්තෝබර් මාසයේ දී පලස්තීන අධිකාරියේ ‘ෆාටා‘ පාලනය පිලිගනිමින් ‘හමාස්‘ සංවිධානය ‘ෆාටා‘  පාලනය සමඟ ගිවිසුමකට එකඟ වුණා. ඒක පලස්තීන රාජ්‍යයක් සඳහා වන ජනතාවගේ බලපොරොත්තු ඉහළ යෑමක්. එම ගිවිසුම මඟින් එතෙක් කළක් ‘හමාස්‘ සංවිධානයේ පාලනයට යටත් ව තිබුණු ගාසා තීරයේ බලයද, පලස්තීන අධිකාරියේ බලය දැරූ ‘ෆාටා‘ සංවිධානය වෙත හිමි වුණා. එතෙක් කලක් ‘හමාස්‘ පාලනය ගාසා තීරයේ නිල නොවන පාලනයක් ලෙස හැඳින් වුණා. ඒ 2007 පැවැතිමැතිවරණයෙන් ‘හමාස්‘ සංවිධානය ජයගත්තත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඊශ්‍රායලයට දෙන සහයෝගයක් ලෙස සහ හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා ‘හමාස්‘ පාලනය පිලිනොගැනීමයි.

ඒ වගේම ෆාටා-හමාස් එකඟතා ගිවිසුමෙන් පලස්තීන අධිකාරිය ඇතිකරගෙන තිබෙන ජාත්‍යන්තර ගිවිසුම් පිලිගැනීමටත්, ඊශ්‍රායලය රාජ්‍යක් ලෙස පිලිගැනීමටත් ‘හමාස්‘ සංවිධානය එකඟ වුණා. මීට කළින් මෙම ගිවිසුම් දෙකම ‘හමාස්‘ සංවිධානය විසින් සිදුකර තිබුණේ නැහැ. ඒ වගේම ඔස්ලෝ සාම ගිවිසුම පිලිගන්නත් 1967 සයදින යුද්ධයට පෙර තිබූ දේශ සීමා තුළ පලස්තීන රාජ්‍යක් පිහිටුවීමට ‘හමාස්‘ සංවිධානය එකඟ වුණා. පලස්තීන රාජ්‍යක් සඳහා කටයුතු කරන ප්‍රධාන සංවිධාන දෙක එකඟතාවයකට පැමිනීම පලස්තීන ජනතාවගේ ජයග්‍රහණයක් වුණා.

නමුත් එම වසරේ දී ම හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිලිගැනීම මේ සියලු කාරණා අවුල් කරන්න කරපු උත්සාහයක් වුණා. නමුත් ඒ අවස්ථාවේ දි ඇමරිකානු ජනාධිපතිවරයා අනුව යන්න බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන්, රුසියන් සහ චීන රජයන් කටයුතු නොකිරීම නිසා පලස්තීන පාර්ශවය සන්සුන් වුණා. එහෙම නොවුණා නම් හමාස් වැනි සංවිධාන නැවත සටන්වලට අවතීර්ණ වෙන්න ඉඩ තිබුණා.

ඒ අතර තුර තමයි 2014 සිද්ධිය සම්බන්ධව විමර්ශන නිලධාරිනී ෆාටෝයු බෙන්සෝඩාගේ විමර්ශන හෙමින් හෙමින් ඉදිරියට ගියේ. ඊශ්‍රායලය දිගින් දිගටම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට ගිහින් පලස්තීනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න බැරි බවට කරුණු කිව්වා. පසුගිය පෙබරවාරි 5 වැනිදා ජාත්‍යන්තර අපරාධ අධිකාරිය තීන්දු කළා පලස්තීන අධිකාරිය තමන්ගේ අධිකරණ බල ප්‍රදේශයට අයත් නිසා විමර්ශනය කරන්න පුළුවන් කියලා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පලස්තීන අධිකාරිය රාජ්‍යයක් ලෙස යුනෙස්කෝ සංවිධානයට ඇතුළත් කර ගැනීමට විරෝධය පලකරමින් එම සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කර ගැනීමත් එක්කම යුනෙස්කෝව විසින් සංස්කෘතික උරුමයක් ලෙස නම් කරලා තිබුණු හෙබ්‍රෝන් නගරයේ යුදෙව් ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායලය කටයුතු කළේ ට්‍රම්ප් පාලනයේ පූර්ණ ආශිර්වාදයෙන්. මේ හැම දෙයක්ම වුණේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් උග්‍රකරන්නයි. ඒ එක්කම අරාබි ලීගය පලස්තීන රාජ්‍යයක් සඳහා කටයුතු කරමින් ඉන්නවා.

ඒ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය තමන්ගේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් හිටපු ජනාධිපති ට්‍රම්ප් වගේ අනවශ්‍ය විධිහට ඊශ්‍රායලයට සහාය දක්වන තත්ත්වයක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම පලස්තීන ජනතාව යම් බලාපොරොත්තුවක් දල්වාගෙන ඉන්නවා තමන්ට සාධාරණයක් වෙයි කියලා. ඒ වගේම අප්‍රිකානු මහද්වීප‍යේ ගැම්බියාව කියන රටෙන් ආපු විමර්ශන නිලධාරිනිය වන ෆාටෝයු බෙන්සෝඩාගේ කාර්ය භාරයත් වැදගත්. ශක්තිමත් රාජ්‍යයක් සමඟ අරගලකරන දුර්වල රාජ්‍යයක ජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව තමන්ගේ කාර්ය භාරය කරන්නේ කොහොමද කියලා ඇය මේ මොහොතේ ලෝකෙටම පෙන්වමින් ඉන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button