දේශපාලන

‘‘ජනාධිපතිතුමනි, මගේ නම ඩීන්! මම ත්‍රස්තවාදියෙක් නොවේ‘‘

පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවය කළ උසස් නිලධාරියෙකු වූ සුරත්මන් ඩීන් වසර දෙකකට ආසන්න කාලයක් පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස සිටි අතර පසුගිය දා ඔහුව අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කළේය. ඉන් පසුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ ඩීන් එක් තැනෙක මෙසේ පවසා තිබුණි.

‘‘…..බිරිඳගේ තාත්තත් හමුදාවේ උසස් නිලධාරියෙක්, එතුමා යුද්ධය වෙනුවෙන් සෑහෙන කාර්ය භාරයක් කරපු කෙනෙක්. එතුමටත් දුක් විඳින්න සිදු වුණා. මම මුස්ලිම් ජාතිකයෙක් වුණත් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන ගත්තේ. හැම ජාතියකම සහෝදරයන් එක්ක මම වැඩකරලා තිබුණා. මට තිබුණේ බෞද්ධ පදනමක්. යාළුවන්ගෙන් සීයට අනූ නවයක් බෞද්ධ යාළුවන්. පන්සල්වලට, කෝවිල්වලට, කතෝලික පල්ලිවලට මම යනවා. මට ලොකු වෙනසක් තිබුණේ නැහැ.

එදා රැස්වීම සංවිධානය කළේ මෙහේ ඉන්න දුප්පත් ජනතාවට එකතුවෙලා දෙයක් කරන්න. රාමසාන් මාසේ පිං දහම් කරන්න තියෙන නිසා. ලැබෙන දේවල්වලින් දෙයක් දුප්පත් ජනතාවට ලබා දෙන්නනයි ඒ සාකඡ්ඡාව කළේ. ඒත් අවාසනාවන්ත සිද්ධියක් මේ රටේ සිදු වූ නිසා මට මේ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. මම දන්නවා මගේ හෘද සාක්ෂිය නිවැරදියි කියලා ……….‘‘

මේ සුරත්මන් ඩීන්ගේ වචනය. යමක් කමක් ඉගෙනගත් සමාජයේ ඉහළ තැනෙක සිටින ඉස්ලාම් භකතිකයෙකු වන ඩීන් ට අනුව ඔහු සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයෙකුට (මුස්ලිම් ජාතිකයෙකුට) වඩා වෙනස් ය. රණවිරුවෙකු වූ තම මාමණ්ඩිට මෙම සිදු වීමෙන් දුක් විඳීමට සිදුවීම අවුලකි. රණවිරුවන්ට එසේ සිදු විය නොහැකි බව ඔහු කියයි. එසේම තමන් මුස්ලිම් ජාතිකයෙකු වුවත් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බෞද්ධ පාසලක් වන ඩී.එස්.සේනානායක විද්‍යාලයේ බැවින් ද තමන්ට බෞද්ධ පදනමක් තිබූ බැවින් ද, ආගම් භේදයකින් තොරව පන්සල්, පල්ලි, කෝවිල්වලට යන බැවින් ද තමන්ට මේ ආකාරයට සිදු නොවිය යුතු බැව් ඔහුගේ අදහසයි.

සුරත්මන් ඩීන් ඇත්තටම හිතන විධිය අනුව මෙම සිදුවීම ඔහුට නොවී වෙනත් ඉස්ලාම් භක්තිකයෙකුට (මුස්ලිම් ජාතිකයෙකුට) සිදු වුණා නම් ඩීන් හිතන්නේ ද ඔහු ගැන සිංහල සමාජය සිතූ ආකාරයටම එම පුද්ගලයා ඉස්ලාම් ත්‍රස්තවාදියෙකු ලෙසිනි. වාසනාවකට හෝ අවාසනාවකට එය සුරත්මන් ඩීන්ට ම සිදු විය. ඔහු සිතන්නේ තමන් නිරපරාදේ දින 54ක් අත්අඩංගුවේ පසුවූයේ සහ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් චෝදනා ලැබුවේ රටේ සිදු වූ අවාසනාවන්ත සිදු වීමක් නිසා බවයි. ඒ සමඟම ඔහු පවසන්නේ තමන් ප්‍රධාන බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම මෙන්ම පන්සල්, කතෝලික පල්ලි සහ හින්දු කෝවිල්වලට යෑම පිළබඳව හෝ සිතා කටයුතුකළ යුතුව තිබූ බවයි.

බැරිවෙලාවත් ඔහු අනෙකුත් ආගමික ස්ථානවලට නොයා සිටියහොත් හා ඉස්ලාම් පාසලක අධ්‍යාපනය ලැබුවේ නම් එම සැක කිරීම සාධාරණ ද?

අනෙක් අතට රාමසාන් මාසේ පිං දහම් කිරීමට ඉස්ලාම් බැතිමතුන් පමණක් එක්ව සාකච්ඡා කිරීම ද එම තත්ත්වයට හේතු වූ බව ඔහු කියයි. එහිදි ඔහු නොපිළිගන්නේ තම බැතිමතුන්ට පමණක් එක්වී සාකච්ඡා කිරීමට ඇති අයිතිය යි. උදාහරණයක් ලෙස සිංහල වැසියන් කතෝලික සහ බෞද්ධ ලෙස වෙන වෙනම එක්වී තම ආගමික කටයුතු සඳහා අවශ්‍ය ලෙස සාකච්ඡා පවත්වයි. ඒ සම්බන්ධව කිසිවෙකුගේ ප්‍රශ්නයක් නැත. එහෙත් ඉස්ලාම් භක්තිකයන්ට පාස්කු ප්‍රහාරයෙන් පසු තම සේවා ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක තමන්ට අදාලව පමණක් සාකච්ඡා කිරීම සැකයට භාජනය වන්නකි. එය තම ආගමිකයින්ගේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස දකිනවාට වඩා සුරත්මන් දකින්නේ රටේ සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් නිසා සිදු වූ දෙයක් ලෙසටය.

සුරත්මන් ඩීන් බැලිය යුත්තේ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ වෛද්‍ය ෂාෆිට සිදුවූ දේ පිළිබඳවය. ඔවුන් දෙපල මේ වන විටත් රඳවා ගෙන සිටින්නේ කුමන නිශ්චිත සාක්ෂි මතදැයි කිසිවෙකුට පැහැදිලි නැත. වෛද්‍ය ෂාෆි ට මේ වන විට එල්ල කර ඇත්තේ ඔහු සම්බන්ධව සිංහල අන්තවාදීන් විසින් සමාජගත කළ චෝදනා නොව වෙනත් චෝදනාය.

ඉතිහාසයේ තවත් කාරණා ඉදිරිපත් කළ හැකිය. තිස්සනායගම් නම් මාධ්‍යවේදියා අත් අඩංගුවට ගෙන පසුව සිරගත කළේ ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය. තිස්සනායගම් 1988-89 යුගයේ දකුණේ සිදුවූ භීෂණ සමයේ දී එවක එජාප රජයට එරෙහිව ජාත්‍යන්තරයට ගිය මහින්ද රාජපක්ෂට අවශ්‍ය කරන ලිපි ලේඛන සිංහල බසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරදුන් ඔහුගේ හොඳම හිතවතෙකි. නමුත් අවසානයේ ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස සිරදඬුවම් වින්දේය.

ඊළඟ උදාහරණය හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය. ඔහු තරම් රණවිරුවෙක් ශ්‍රී ලංකාවේ සිටිය නොහැකිය. අවසානයේ ඔහුත් වරදකරුවෙකු වී සිරදඬුවම් වින්දේය.

තිස්සනායගම් සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාම එසේ සිරගත වූයේ පැවැති රජයේ මතයට එකඟ නොවු බැවිනි. වෛද්‍ය ෂාෆිට එහෙම වුනේත් ඒ නිසාය. සරත් ෆොන්සේකා මෙරට ප්‍රධාන බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම හෝ හිටපු හමුදාපති වීම මෙන්ම එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්ධය අවසන් කිරීමට නායකත්වය දීම යන කාරණා එකක්වත් ඔහු රාජපක්ෂ රජයේ මතයට විරුද්ධ වීම තරම් විශාල කාරණා නොවේ වැදගත් කාරණය වූයේ රාජපක්ෂ රජයට විරුද්ධ වීමයි.

සුරත්මන් මුහුණ දුන් සිදුවීමේ දී වුයේද ඔහුව සිංහල බෞද්ධ සමාජයට පිළිගැනීම එක්කරන කාරණා නොව. ඒ මොනවා තිබුණත් ඔහු ඉස්ලාම් භක්තිකයෙකු සහ වෙනම තම ආගමිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීම කියන කාරණාය. එසේ නැතිනම් සුරත්මන් සම්බන්ධව විමර්ශනය කළ අයට ඔහු ගැන තොරතුරු සෙවීමට මෙතරම් කල්ගත විය නොහැක. එසේම එල්ල කළ චෝදනා සනාථ කිරීමට කරුණු නැති බව දැන ගැනීමටද මෙතරම් කල්ගත විය නොහැකිය. සනාථ කිරීමට කරුණු නැතිනම් චෝදනා එල්ල කිරීම ද අපරාධයකි.

සුරත්මන්ට එහෙම සිතෙන්නේ නැත්තේ ඔහුද මෙරට සිංහල අන්තවාදීන්ට සමාන ලෙස සිතන බැවිනි. සුරත්මන් මතක් කරදිය යුතු කාරණය වන්නේ ‘මයි නේම් ඉස් ඛාන්‘ චිත්‍රපටියේ ෂාරුක් ඛාන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරියේ කරණ ප්‍රකාශයයි.

“Mister President, My name is Khan, I’m not a terorist’’ (ජනාධිපතිතුමනි, මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවේ‘‘

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button