ක්‍රීඩා

ළා බාල ‘සෝන්ඩර්ස් වෙටරන්ස්ලා’ ගේ පැටිකිරිය

‘‘මුන් විහින් නාකි වෙනවා‘‘ කියලා අපි කියන්නේ තමන්ගේ වයසට වඩා පැසුණු කොල්ලෝ කෙල්ලො සහ ගැටවර වයසේ ඉන්න අයට. ඒ තමන්ගේ වයසට වඩා වැඩිමහල් අයගේ වැඩ කරනකොට. ඒ විධියේ තුන්දෙනෙක් පහුගිය දවසක කොළඹ ප්‍රයිස් පාක් ග්‍රවුන්ඩ් එකේ දී මට මුණ ගැහුණා. වයස අවුරුදු 35 වෙද්දිම අවුරුදු 40න් ඉහළ ‘වැඩිහිටි‘ (වෙටරන්ස්) පාපන්දු කණ්ඩායමක්‘ බිහි කරන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ විතරක් නොවෙයි වසරක් ගත වෙන කොට රටේ සංවිධානාත්මකම ම ‘වෙටරන්ස් පාපන්දු කණ්ඩායම‘ බවට ඒ කණ්ඩායම පත් කරන්නත් අපේ කථානායකයෝ තුන් දෙනාට පුළුවන් වුණා. දැන් ඒ තුන් දෙනාට උදවු කරන්න තව පිරිසක් ඉන්නවා.

කවදත් පාපන්දුව ම ජීවිතය කරගත් මැද කොළඹ සෝන්ඩර්ස් පාපන්දු කණඩායමේ ක්‍රීඩකයින් දෙන්නෙක් තමයි සජිත් ධර්මපාල (චානක) සහ ඉසුරු පෙරේරා කියන්නේ ඒ වගේම තරංග පුෂ්පකුමාර ලංකාවේ අංක එකේ පාපන්දු විනිසුරුවරයෙක් මේ තුන්දෙනා තමයි ‘සෝන්ඩර්ස් වෙටරන්ස්‘ කණ්ඩායමේ නිර්මාතෘවරු. දැනට අවුරුදු කිහිපයකට පෙර රැල්ලක් වගේ ‘වෙටරන්ස්‘ පාපන්දු කණ්ඩායම් බිහි වෙමින් තිබුණා. විශේෂයෙන්ම කොළඹට කිට්ටුවත් කණ්ඩායම් රාශියක් නිර්මාණය වුණා.

2017 ‘සෝන්ඩර්ස් වෙටරන්ස්‘ කණ්ඩායම බිහි වන්නේ සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායමේ ශත සංවත්සරයට වසරක් කිට්ටු වෙද්දි. හැබැයි සෝන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ පැරණි ක්‍රීඩකයින් දෙතුන් දෙනෙක් විතරයි. මේ වෙටරන්ස් කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ. ඒ අයගෙනුත් දැන් ඉතිරිවෙලා ඉන්නේ ‘ටෝයි නානා‘ විතරයි. ටෝයි නානා කියන්නේ කෙටි නම ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය වෙලා ඉන්නේ ඒ නමින්. තුවාන් සහීර් අහමත් නැත්නම් ටී. ඉසෙඩ්. අහමත් කියලා 1986-98 කාලයේ සෝන්ඩර්ස් පිල නියෝජනය කළ ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ සෝන්ඩර් පිලේ ස්වර්ණමය යුගයේ දී කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඒ දවස්වල සෝන්ඩර්ස් පිලේ ස්ථානයක් දිනා ගන්න එකත් ලේසි නැහැ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් හත් අට දෙනෙක්ම ඒ කාළේ සෝන්ඩර් පිලට ක්‍රීඩා කළා.

‘‘මම අළුත්කඩේ වෙටරන්ස් ටීම් එකට සෙල්ලම් කර කර හිටියේ. අපේ වෙටරන්ස් ටීම් එකක් තිබුණේ නැති නිසා. දැන් අපේ ටීම් එකක් තියෙනවා. ඒ නිසා ඒකට ආවා. ෆුට්බෝල් තමයි අපේ ජීවිතේ පුළුවන් තරම් කල් සෙල්ලම් කරනවා. ෆුට්බොල් ගහන අන්තිම කාළේ සෝන්ඩර්ස් නමින්ම සෙල්ලම් කරන්න පුළුවන් වුණ එක ගැන ලොකු සතුටක් තියෙනවා‘‘

54 හැවිරිදි ටෝයි නානා සෝන්ඩර්ස් වෙටරන්ස් පිලට දක්වන දායකත්වය හුඟක් ඉහළ බව කණ්ඩායමේ හැම දෙනාගෙම අදහසයි.

‘‘දැන් ‘ඕවර් ෆෝර්ටි‘ (වෙටරන්ස්) ෆුට්බෝල් හුඟක් ජනප්‍රියයි. අපි පැරණිම පාපන්දු කණ්ඩායමක් වුණාට අපිට ඕවර් ෆෝර්ටි ටීම් එකක් තිබුණේ නැහැ. නමුත් අපිට ඒ ඩිවිෂන් සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ හිටියේ නැහැ. මොකද ඒ වෙන කොටත් සෝන්ඩර්ස් ටීම් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ කොළඹ අවට වෙනත් වෙටරන්ස් කණ්ඩායමවලට ක්‍රීඩා කරමින් හිටියේ. ටෝයි නානාත් එහෙමයි. හැබැයි අපේ ටීම් එක හැදුව ගමන් එයා අපේ ටීම් එකට ආවා. ඒ ආවේ කිසිම මුදලක් බලාගෙන නෙවෙයි. දැනටත් අපිත් එක්ක තරඟාවලිවලට ඕන තැනකට යන්න එනවා‘‘ ඒ අනෙක් ක්‍රීඩකයින් ටෝයි නානා ගැන කියපු කථාවයි.

කණ්ඩායම ආරම්භ කර හරියටම අවුරුද්දකින් ඒ කියන්නේ 2018දී හොඳ තරඟාවලියක් සංවිධානය කරන්න සෝන්ඩර්ස් වෙටරන්ස් ලා ට පුළුවන් වෙනවා. ශූරයින්ට කුසලාන එක්ක රුපියල් 150,000ක තෑග්ගක්, අනුශූරයින්ට රුපියල් 100,000ක් තරගාවලියේ දක්ෂ ක්‍රීඩකයින්ටත් වටිනා තෑගි දුන්නා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2019‍ තරඟාවලියේ ශූරයින්ට රුපියල් 200,000ක් සහ කුසලාන දුන්නා. අනුශූරයින්ට රුපියල් 125,000ක්. ඒ කාල සීමාවේ දී කිසිම කණ්ඩායමක් ඒ තරම් කුසලාන සහ මුදල් ත්‍යාග පිරිනමලා නැහැ. දැනටත් නැහැ.

මෙම තරඟාවලිවලදී පිටපළාත් කණ්ඩායම් සමඟ කණ්ඩායම් 24ක් එක්කර ගන්න පුළුවන් වුණා. සෝන්ඩර්ස් වෙටරන්ස් ලා ගේ විශේෂත්වය තමයි. තමන් සංවිධානය කරන තරඟාවලි සඳහා ඔවුන් තරඟ නොකිරීම. හැම තෑග්ගක්ම කුසලානයක්ම අනෙක් කණ්ඩායමවලට අරගෙන යන්න දෙනවා.

මේ වසරේ කළින්ට වඩා කුසලාන සහ තෑගි සමඟ ඉහළම තරඟාවලියක් සංවිධානය කරන්න සෝන්ඩර්ස් වෙටරන්ස් කණ්ඩායම සූදානම් වෙනවා.

‘‘අපි උත්සාහ කරන්නේ හිටපු ක්‍රීඩකයින්ව දිරි ගන්නවන්නයි. හුඟක් ක්‍රීඩකයෝ ඔවුන්ගේ හොඳම කාලය පාපන්දුවලට දුන්නා. ඒ හුඟක් අයට හරිහමන් ගෙවීමක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ හොඳ කාලයේ දී යම් දිරි ගැන්වීමක් නොලබුණත් අපි උත්සාහ කරනවා දැන් හරි ඔවුන්ව අගය කිරීමට. ඒක ඔවුන්ට ලොකු සහනයක් වගේම ගෞරවයක්‘‘ ඒ චානක සහ ඉසුරු.

මේ තරඟාවලි සංවිධානය සඳහා මැද කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික හිතවතුන් සහ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද සහාය වෙනවා. අජන්ත ලියනගේ කියන්නේ එවන් එක් නාගරික මන්ත්‍රීවරයෙක්.

‘‘අජන්ත අයියා දේශපාලන වාසි බලන්නේ නැහැ. අපේ හැම වැඩකදිම එයා ඉන්නේ එයාගෙ වැඩක් වගේ. අජන්ත කියන්නේ හොඳ සෝන්ඩර්ස් සපෝටර් කෙනෙක් තරඟාවලිය සංවිධානය කරද්දි එයත් හිමිහිට ඇවිල්ල බලනවා මොනවද අඩු පාඩු කියලා. මොනව වුණත් එයා අපිත් එක්ක ඉන්නවා. ඒක අපිට ලොකු හයියක්‘‘ ඒ කවදත් සොන්ඩර්ස් නමත් එක්ක ඉන්න ‘උපාලි‘ ගේ හඬ.

කථාව යන අතරේ සොන්ඩර්ස් වෙටරන්ස් කණ්ඩායම පුහුණුව අරඹලා. අජන්ත ලියනගේ ඉන්න නගරසභාවට විරුද්ධ පැත්තෙන් තරඟ කරපු බන්දුලත් සෝන්ඩර්ස් වෙටරන්ස් කෙනෙක්. සෝන්ඩර්ස් කියන්නේ කොහොමත් මැද කොළඹ සංයුතියක්. හැමෝම ඒක ඇතුළේ ඉන්නවා. ‘සෝන්ඩර්ස් වෙටරන්ස්‘ කියන්නේ ඒකට හොඳම උදාහරණයක්.

පාපන්දු සංගමය හෝ වෙනත් කණ්ඩායම් සංවිධානය කරන තරඟාවලි සඳහා ඉදිරිපත් වෙන්නත්, ජයග්‍රහණය කරන්නත් ‘සෝන්ඩර්ස් වෙටරන්ස් ලා‘  බලාපොරොත්තු වෙනවා. මොකද තමන් කොයි තරම් ලොකු තරගාවලියක් සංවිධානය කළත් ඒ තරඟාවලියට ‘සෝන්ඩර්ස් වෙටරන්ස් ලා‘ තරඟ වදින්නේ නැති නිසා.

තාම කණ්ඩායම හදලා අවුරුදු හතර වුණාට තව වසර දෙක තුනකින් ලංකාවේ හොඳම වෙටරන් කණ්ඩායම වෙන්න තමන්ට පුළුවන් කියන විශ්වාසයෙන් තමයි කණ්ඩායම ඉන්නේ. මොකද චානකලා ඉසුරුලා තව අවුරද්දකින් දෙකකින් ‘සෝන්ඩර්ස් වෙටරන්‘ කණ්ඩායමේ ඉන්නවා අපිට දකින්න ලැබෙයි. 2019 වසරේ දී මලයාසියාවේ සංචාරයක යෙදෙන්නත් ඔවුන්ට පුළුවන් වුණා. ඒ හැම දෙයක්ම කෙරුවේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ වෙහෙස මහන්සියෙන්මයි.

සෝන්ඩර්ස් පාපන්දු සමාජයට අවුරුදු සීයකටත් වැඩියි. සෝන්ඩර්ස් පාපන්දු පුහුණු කඳවුරට අවුරුදු පනහට වැඩියි. ලංකාවේ දැනට තියෙන පැරණිම පාපන්දු කණ්ඩායම සෝන්ඩර්ස්. පැරණිම පුහුණු කඳවුර සෝන්ඩර්ස්.

ඒ වගේම තව දශක ගණනාවකින් අඛණ්ඩව පවතින ලංකාවේ පැරණිම ‘වෙටරන්‘ පාපන්දු කණ්ඩායමත් ‘සෝන්ඩර්ස් වෙටරන්ස්‘ කණ්ඩායම වෙන්න! කියන බලාපොරොත්තුවක් හැම දෙනාගේම තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button