ක්‍රීඩා

මැද කොළඹ මහා පාපන්දු ප්‍රේක්ෂකයා – ඉෆාම්

‘‘96 වර්ල්ඩ් කප් ෆයිනල් එක තිබුණු දවසේ උදේ ඉඳන්ම බලන් හිටියා. මැච් එක ස්ටාට් කරනකම්. වෙන වැඩක් කරේම නැහැ. පටන් ගන්නකොටම අපි දිනනවා කියලමයි දැණුනේ. පරදින එකක් නිකමටවත් හිතුණේ නැහැ. වාස් පළවෙනි විකට් එක ගන්නකොට ආව සන්තෝසෙට මම රෝද පුටවෙන්ම ගෙයින් එළියට ගිහිල්ල කෑ ගැහුවා. මම දන්නෙම නැහැ රෝද පුටුව උඩ දඟලපු දැඟලිල්ලට මාව පුටුවෙන් තල්ලු වෙලා ගිහින් ගේ ළඟ තිබුණු කාණුවට වැටුණා. යාළුවො ඇවිල්ලා තමයි ඇදලා ගොඩට ගත්තේ.

අපි ෆයිනල් එක දිනුවට පස්සේ මම යාළුවොත් එක්ක අපේ වාහන අරං පාරේ පෙළපාලියක් ගියා. අන්තිමට පොලිසියෙන් මාව ඇරෙස්ට් කළා. ඒකම 1999 වර්ල්ඩ් කප් ෆයිනල් එක දවසෙත් වුණා. මට විරුද්ධව පැමිණිළි දෙකක් තියෙනව කොටුව පොලිසියෙයි, කුරුඳුවත්ත පොලිසියෙයි. ලංකා ටීම් එකට සපෝට් කරලා පෙළපාලි ගියාට. ඒ ඔක්කොම මගේ ක්‍රිකට් පිස්සුව නිසා වුන දේවල්‘‘

1996 ශ්‍රීලංකා පිල ලෝක ක්‍රිකට් කුසලානය ජයගැනීමෙන් පසු ත්‍රීවිල් පෙළපාලි යන ඉෆාම් ඇතුළු පිරිස

මෙහෙම කියන්නේ ඉෆාම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අසීමිත ලෙස ආදරය දක්වන ප්‍රේක්ෂකයෙක් තමයි ඉෆාම් කියන්නේ. ඔහු ඉතා කුඩා කළ සිටම ක්‍රිකට්වලට ආදරය කළා.

‘‘මම කොච්චර ක්‍රිකට්වලට ආදරය කරාද කියනව නම් මගේ ත්‍රීවිල් රස්සාව කරන්නෙත් මැච් බලන්න වෙලාව ඉතුරුකරගෙන. මැච් තියෙන දවස්ට කළින් දවස්වල මැච් තියෙන දවස්වලටත් එක්ක හම්බකරනවා. කිසි දවසක අසාධාරණයක් කරන්නේ නැහැ. මට එහෙම කරන්නත් බැහැ.

‘‘ලංකාව මැච් එකක් දින්නම රතිඤ්ඤා ගහන ක්‍රිකට් ලෝලීන් ඉන්නවනේ මාත් එහෙම තමයි. සමහර මුස්ලිම් අය ලංකාවයි පකිස්තානයයි මැච් එකක් ගහල පකිස්තානය දිනුවම රත්ඤ්ඤා ගහනවා. මම රතිඤ්ඤා ගහන්නේ ලංකාව දිනුවම විතරයි. ඒකට කැමැති නැති අය පකිස්තානය දිනුවම මගේ ගේ දොරකඩටම රතිඤ්ඤා පත්තු කරලා දානවා.

‘‘ ඒ කාළේ මට ක්‍රිකට් මැච් බලන්න නොමිලේ පාස් හම්බවෙනවා. නැෂනල් ටීම් එකේ ගොඩක් ප්ලේයර්ස්ලා මාව අඳුරනවා. අරවින්ද සහ අර්ජුන එක්ක ළඟ සම්බන්ධකම් තිබුණා. ඒ ක්‍රීඩකයින්ට මම හැමදාම රෙස්පෙක්ට් කරනවා. ඒ ගොල්ලෝ හොඳ ක්‍රීඩකයෝ වගේම හොඳ මිනිස්සු.‘‘

ඉෆාම් කියන්නේ ලංකාවට වගේම ලංකාවේ මිනිස්සුන්ටත් ආදරය කරන මිනිසෙක්. ඊටත් වඩා ක්‍රීඩාවට ආදරය කරන මිනිසෙක්.

අපිට ඉෆාම් හමු වූයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පාපන්දු තරගයක් නරඹමින් සිටින අවස්ථාවක. සුගතදාස ක්‍රීඩාංගණයේ, කොළඹ තුරඟ තරඟ පිටියේ හෝ කොම්පඤ්ඤවීදිය සිටි ලීග් පිටියේ පැවැත්වෙන පාපන්දු තරග නැරමීමට යන සෑම අවස්ථාවකදීම ඔහුව දකින්නට ලැබේ. ඉෆාම්ගේ සහභාගිත්වය නැති ප්‍රේක්ෂකාගාරයක් ඇති පාපන්දු තරඟයක් කොළඹ පැවැත්වෙනවා නම් එය අතිශයින්ම විරල සිදුවීමකි. ඉස්ලාම් බැතිමතුන් පළදින තොප්පියක් පැළඳ අඟල පහක් හයක් පමණ දිගට මුහුණු පුරා ඝණ රැවුලක් වවා සිටින ඉෆාම් පාපන්දු ප්‍රේක්ෂකාගාරයේ සුවිශේෂ දසුනකි. කුමන තරගයක් නැරඹීමට කුමන ක්‍රීඩාංගණයකට පැමිණියද ඔහු වාඩි වී සිටින්නේ පැමිණෙන විට නිවසින්ම රැගෙන පැමිණෙන රෝද පුටවේය. ඔහු සිටින්නේ ද සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේ නොව ඊට ටිකක් ඉදිරියෙනි. ක්‍රීඩකයින්ට, පරිපාලකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද ඉෆාම්ව හොඳින් මතකය.

ඉෆාම් සමඟ කථා කරන් ලැබුණු පළමු අවස්ථාවේම මගේ ප්‍රශනය වුණේ,

‘‘හැම මැච් එකක්ම බලනවද?‘‘

‘‘ඔව්, කොහොම හරි කොළඹ තියෙන හැම මැච් එකක්ම වගේ බලනව. ඉඳළ හිටල මැච් එකක් මඟ ඇරෙන්නේ‘‘

‘‘කොච්චර කල් ඉඳලද මැච් බලන්නේ?

‘‘දැන් අවුරුදු දහයකට වැඩියි‘‘

‘‘ෆුට් බෝල් කියන්නේ කැමතිම ක්‍රීඩාව ද?‘‘

‘‘මම ෆුට්බෝල්වලට කළින් ගොඩක් කැමැත්තෙන් හිටියේ ක්‍රිකට්වලට. ඒකාලේ මම හැම ක්‍රිකට් මැච් එකක්ම බලන්න ගියා. ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් මාව අඳුරනවා. දැන් එහෙම යන්න බැහැ. ඒ වගේම ටිකට්වල ගාණත් දැන් වැඩියි. දඹුල්ලෙ ගහන මැච් බලන්නත් මම ගියා. මාත් එක්කම යන යාළුවො කට්ටියකුත් ඉන්නවා.‘‘

1977 මැයි 21 වැනි දා උපන් ඉෆාම්ගේ සම්පූර්ණ නම මො‍හොමඩ් නිසාර් මොහොමඩ් ඉෆාම් ය. පදිංචිය 30/54, ගවුස් මොහිදින් මාවත, අළුත් යොන් වීදිය, කොළඹ 12 ලිපිනයේ යි.

පාපන්දු ගැන කථා කිරීම ඉෆාම්ට වෙහෙසක් නොවේ. ඒ ව‍ගේම කොළඹ අවට පාපන්දු කණ්ඩායම් පිළිබඳව ඔහු‍ගේ දැනුමද සුළුපටු නැත. එසේම ජාත්‍යන්තර පාපන්දු තරඟ පිළිබඳව ද දැඩි උනන්දුවක් ඇත.

‘‘මම කැමතිම ක්‍රීඩකයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. එයා ලස්සනට ප්ලේ කරනවා. මම ඉස්සර කැමති ජර්මනියේ ලොතර් මතායස්ට. මතායස් දක්ෂ ක්‍රීඩකයෙක් වගේම හොඳ නායකයෙක්. 1990 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ මැච් මට තාම මතකයි.‘‘

ඉෆාම්ගේ ඇඟේ තිබුණු පාපන්දු ක්‍රීඩාවට ඇති ඇල්ම අපිට ක්‍රීඩාංගණයේ දී දක්නට ලැබෙන්නේ ඔහුගේ එකම පුතුගෙනි. ඔහු නමින්  හොමඩ් ඉෆාම් මොහොමඩ් සෙයිඩ් ය. තවම වයස අවුරුදු 12කි. මෙයට වසර දෙකකට පෙර ස්පාඤ්ඤයේ බාසිලෝනාවල පැවැති දින 8ක කණිෂ්ට පාපන්දු පුහුණු සැසියක් සඳහා මෙරටින් තෝරාගත් කණිෂ්ට ක්‍රීඩකයින් 6 දෙනාගේන් එක් අයෙක් වීමට තරම් සෙයිඩ් දක්ෂයෙක් විය. ඔහු සෝන්ඩර්ස් පුහුණු පාසලේ පාපන්දු ක්‍රීඩකයෙකි.

සෙයිඩ්

මම හිතනවා ඉස්සරහට ලංකාවේ ෆුට්බෝල් දැනට වඩා හොඳ තැනකට එයි කියලා. ෆුට්බෝල් කියන්නේ ලංකාවේ හැම තැනකම හැම පාරකම, තියෙන ක්‍රීඩාවක්. හැම වයසකම මිනිස්සු ෆුට්බෝල් ගහනවා. ගොඩක් මිනිස්සු ආසයි ෆුට්බෝල් මැච් බලන්න. අපේ රටේ මිනිසුසුන්ව එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි ෆුට්බෝල් කියන්නේ.‘‘

අපේ කථාව අවසන් කරමින් ඉෆාම් එහෙම කිව්වා. ඒ ඉෆාම් හිතන විදිහ වගේම පාපන්දුවලට ආදරය කරන ගොඩක් අය හිතන ආකාරයයි. අපේ පාපන්දු ප්‍රේක්ෂකාගාර උණුසම් වෙන්න ඉෆාම් වගේ මිනිස්සු වැදගත් වෙන්නේ ඒ නිසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button