දේශපාලන

ජිනීවා සැසියෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සුරක්ෂිත ද?

පෙබරවාරි මාසය අවසානයේ සිට මාර්තු මස අවසානය දක්වා කාලය ගත වුණේ ශී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර නිරීක්ෂණ සහ පරීක්ෂණ සමය සඳහාය. අප්‍රේල් මාසය එළැඹීමත් සමඟම යළිත් පැමිණ ඇත්තේ පාස්කු සමයයි. පාස්කු සමය ලෙස මෙම ලිපියේ හඳුන්වන්නේ කතෝලික ආගමිකයින් සිය ආගමික වත් පිළිවෙත් අනුව සිහිකරමින් සිදු කරනු ලබන ජේසු ක්‍රිස්තුන් කුරුසියේ ඇණ ගැසීම හා උත්තාන වීම යන කාරණා නොවේ. 2019 අප්‍රේල් 21 වැනිදා එනම් පාස්කු ඉරු දින මෙරට ප්‍රධාන කතෝලික දේවස්ථාන දෙකකට ඇතුළුව එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ මාලාවකින් පසුව ඇතිවූ තත්ත්වය මත එම සිදුවීම දේශපාලනීකරණය වීමේ දෙවැනි සැමරීමේ කාලයයි.

එම මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මිය ගිය ද කතෝලික සභාව හරහා ඉස්මත්තට පැමිණ ඇත්තේ මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට සහ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයන්වලින් විපතට පත්වූවන්ට යුක්තිය ඉෂ්ට කරවා ගැනීමේ සටනකුයි. විශේෂයෙන්ම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් වරින් වර ඉස්මතු කරන්නේ එයයි. මේ වන විට එය රජයට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග දැක්වීම සඳහා වන තත්ත්වයකටම පත් ව ඇත.

එදිනම ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකට සහ  කතෝලික නොවන මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරවලින් ද 50කට ආසන්න පිරිසක් මිය ගිය අතර සියයකට අධික පිරිසක් තුවාල ලැබීය. ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමේ සටනක් කතෝලික සභාව මඟින් සිදු කරනු දක්නට නොලැබෙන අතර සභාව පෙනී සිටින්නේ මිය ගිය තම ආගමිකයින් සඳහා පමණක් බව හැඟී යන්නේ ‘‘විපතට පත් වු අපගේ කිතුණු ජනතාව වෙනුවෙන් යුක්තිය බලාපොරොත්තු වෙනවා‘‘ වැනි ප්‍රකාශ ඇසෙන විටය. මෙම ප්‍රකාශය දිගින් දිගටම අසන්නට ලැබෙයි.

නමුත් රටතුල මෙවැනි ත්‍රස්ත ප්‍රහාරවලින් සහ රජ‍යේ හමුදා මඟින් සිදු කළ ‍මෙහෙයුම්වලදී සහ රජයේ සන්නද්ධ කණ්ඩායම විසින් සිදු කළ පැහැර ගැනීම්වලින් පසු අතුරුදහන් වූ හෝ ඝාතනය වූ සංඛ්‍යාව දහස් ගණනකි. එහෙත් ඒ වෙනුවෙන් කතෝලික සභාව නිල වශයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන අතරම ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පුද්ගලයන්ට එරෙහිව රජය විසින් ගෙන යන දේශද්‍රෝහී ලේබලය ඇලවීමට සහායද දක්වයි. උදාහරණ ලෙස ඒල.ටී.ටී.ඊ.  කාලයේදී උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිදුවූ හමුදා මෙහෙයුම්වලින් මියගිය හා අතුරුදහන් වූ පුද්ගලයින් වෙනුවෙන් ද චෝදනා නොමැතිව සිරගතකර සිටින අය වෙනුවෙන් ද පෙනී සිටින්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් සහ සංවිධානයි.

ඔවුන්ට දේශද්‍රෝහීන් සහ රට විකුණන එන්.ජී.ඕ. නඩ ලෙසින් චෝදනා නඟමින් රාජපක්ෂවරුන් ක්‍රියාත්මක වූයේ අද ඊයේ සිට නොවේ. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ රජයේ මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව පෙනී සිටි සංවිධාන හා ක්‍රියාකාරීන්ය. යහපාලන රජය සමයේ ද රාජපක්ෂවරුන් මානව හිමිකම් උල්ලංඝනයන් සාධාරණීකරණය කළේ තම එන්.ජී.ඕ. විරෝධය දිගින් දිගටම පවත්වා ගනිමිනි.

පසුගිය මාර්තු මාසයේ දී අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මක වූයේ ශ්‍රී ලංකා රජයට විශාල දේශපාලන පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වුවත් මේ වනවිටද තම මිලිටරි කරණය මෙන්ම මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳවද රාජපක්ෂ රජය නැවත හැරී බැලීමක් නොකරන අතර තව දුරටත් මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීන් ට එරෙහි ක්‍රියාවන් සිදු කරමින් සිටී. නැතිනම් එම ක්‍රියාකාරිත්වය වර්ධනය කර සිටී.

මේ වන විටද රජය විසින් මෙරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානවල ක්‍රියාකාරිත්වය තියුණු ලෙස විමර්ශනය කරමින් සහ බිය ගන්වමින් සිටින අතර රජයට එරෙහි ජිනීවා යෝජනා දැඩි වන තරමට මානව හිමිකම් ක්‍රියාකාරින්ට එරෙහි රජයේ මර්ධනය ද දැඩි වෙමින් පවතී. එය මේ වන විටත් සූක්ෂම ලෙස රජය සිදුකරමින් සිටින්නේ රජයේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව රටතුළ විශාල ප්‍රතිරෝධයක් නොමැති බැව් පෙන්වීමටය. එසේම රජයට එරෙහි ජාත්‍යන්තර නිර්දේශ පිළිබද තැකීමක් නොකරන බව ද පෙන්වීමටය.

එනිසා හෙට දිනයේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම සංවිධානද සිටින්නේ දැඩි මර්ධනයක් අබියසය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button