විදේශීය

ආගමේ වෙනසින් පිටුවහලුන් වූ මොමෝන්වරු

ඇමරිකා එක්සත් ජනපදය යනු ලෝකයේ පැවැති විවිධ ක්‍රීඩා මංගල්‍යන් සඳහා අවස්ථා ගණනාවක දී සත්කාරකත්වය දැරූ දේශයකි. එමෙන්ම ක්‍රීඩාව අතින් ලෝකයේ අංක එකේ සිටින රටකි. ලෝකයේ ඉහළම ක්‍රීඩා මංගල්‍ය වන ඔලිම්පික් තරඟාවලියේ සිට ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ද සත්කාරකත්වය දැක්වූ රටකි. ඊට අමතරව තවත් විවිධ ලෝක මට්ටමේ ජාත්‍යන්තර තරඟාවලි සහ කලාපීය ජාත්‍යන්තර තරඟාවලි සඳහාද අවස්ථා ගණනාවක දී සත්කාරකත්වය දරා ඇති අතර ඒ සඳහා වොෂිංටන් අගනුවර මෙන්ම ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ චිකාගෝ ඇතුළු තවත් නගර රැසක්ම සත්කාරකත්වය සපයා ඇත.

2002 වසරේ දී ශීත ඝෘතු ඔලිම්පික් උළෙල පැවැත්වූයේ ද ඇඑජය තුළය. එම තරඟාවලියට සත්කාරකත්වය ලබා දුන්නේ අති දුෂ්කර කාන්තාරයකින් වටවූ සෝල්ට් ලේක් නගරයයි. තරඟාවලිය සඳහා නගරයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන්ට ද මාධ්‍යවේදීන්ට ද සෝල්ට් ලේක් නගරයේ දී දකින්නට ලැබුණේ වනස්ම අත්දැකීමකි. මෙයට පෙර තමන් සංචාරය කළ නගර මෙන් නොව මෙම නගරයේ දී ප්‍රධානත්වය ලැබී තිබණේ ආගමික මධ්‍යස්ථානවලට සහ ආගමික නායකයින්ට ය. නගරයේ අතීතය ප්‍රදර්ශනය වන ආකාරයට ඉදිකරන ලද ගොඩනැඟිලි සහ ආගමික නායකයින්ගේ ප්‍රතිමා නගරය පුර දිස් විය.

මොමෝන් පුරෝගාමීන්

ශීත සෘතු ඔලිම්පික් උළෙල නැරඹීමට සහ වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් ඉතා පුදුමයෙන් මෙම නගරය පිළබඳව විස්තරාත්මක වාර්තා පලකරන ලද අතර එක්වරම රටවල් ගණනාවක මාධ්‍ය අවධානය සෝල්ට් ලේක් නගරය වෙත යොමු විය. මෙයට පෙර මෙම නගරය පිළිබඳව වාර්තා පලකර තිබුණත් ඒවාට නොලැබුණු ප්‍රචාරයක් සහ ප්‍රසිද්ධියක් ශීත සෘතු ඔලිම්පික් උළෙල වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍ය වේදීන්ගෙන් හිමිවිය. ඒ අති ත්‍රාසජනක සහ වචනයෙන් විස්තර කළ නොහැකි අත්දැකීම් රාශියක් මත මේ නගරය ඉදිවීමයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ බිහිවු තවමත් එතරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති මොමෝන් ආගමිකයින්ගේ ආරම්භය සමඟ සෝල්ට් ලේක් නගරයේ ආරම්භය බැඳී පවතී. ‍මේ ඒ කතාවයි…….

ඒ 1847 වසරයි. අති දුෂ්කරවූ ගමනක් යෙදෙන දහස් ගණනක්වූ මිනිසුන් පිරිසක් උතුරු අමරිකාවේ මහා ද්‍රෝණිය පසු කරමින් සිටී. එම පිරිසට ශක්ති සම්පන්න පිරිමින් මෙන්ම වයෝ වෘද්ධ පිරිමින්ද, කාන්තාවන්ද, කුඩා ළමුන්ද තරුණ තරුණියන්ද වශයෙන් සමාජයක සිටින සියලුම වයස් මට්ටමේ මනුෂ්‍යයින් ඇතුලත්ය.

ඔවුන් මේ ගමන් කරමින් සිටින්නේ සිහිබුද්ධිය ඇති කිසිදු මනුෂයෙක් සිහිනෙන්වත් නොසිතන ගමනාන්තයක් කරාය. ඇත්තම කියනවානම් ඔවුන්ගේ ගමනාවසානය කිසිවෙක් හරියාකාරව දන්නේ නැත. ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා ඇතුළු වැඩිහිටි පිරිස ඉදිරියෙන්ම ගමන්කරන අතර සෙස්සෝ පසු පසින් ගමන් කරති. වැස්සක පහස වසර ගණනාවකින් නොලත් මෙම කාන්තාර ප්‍රදේශය පාගමනින් පසුකර යන්නට කිසිවෙක් සිතන්නේවත් නැත. නමුත් මෙම පිරිස ඉතාමත්ම වෙර වීරියෙන් ගමන් කරමින් සිටින්නේ තමන්ට ජීවත්වීම සඳහා සුදුසු බිමක් සොයමිනි. ඒ සඳහා ඔවුන් උතුරු ඇමරිකාවේ නැගෙනහිර සිට මෙම කාන්තාර ප්‍රදේශය පසුකරමින් මහද්වීපයේ බටහිර පෙදෙසට ගමන් කරමින් සිටී. ඔවුන්ට එසේ ගමන් කිරීමට සිදුවූයේ මෙයට පෙර මෙම මහා පිරිස දිවි ගෙවූ ප්‍රදේශයේ ජීවත්වූ අනෙක් ජනතාවගෙන් එල්ලවූ හිරිහැර සහ පීඩාවන් නිසා තවදුරටත් දිවි ගෙවීමට දුෂ්කර වූ බැවිනි. ඔවුන්ට මෙසේ ගම්බිමි හැර යාමට සිදුවූ කථාව සාරාංශකොට දක්වන්නේ නම් මෙසේය.

1830 දී ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද මොමොන් ආගමේ නිර්මාතෘවරයා වන්නේ ජෝසප් ස්මිත් නැමැත්තෙකි. 1820 දී ජෝසප් ස්මිත් වයස අවුරුදු 14ක දරුවෙකුව සිටියදී තම දෙමාපිය සහෝදර සහෝදරියන් සමග පදිංචිව සිටියේ නිව්යොර්ක් හි, පැල්මයිරා නම් ප්‍රදේශයේය. අළුත් ආගමක් දේශනා කරමින් ස්මිත් පවසා සිටියේ ජේසු තුමන් දේශනා කළ ධර්මය, තවදුරටත් මිහිපිට නොමැති බව දෙවියන් වහන්සේ තමන්ට පැවසූ බවයි.

ඉතා ඉක්මනින්ම තම අධ්‍යාපනය පවා අතරමග නතර කළ ජෝසප් ස්මිත්, ගොවිපොළක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටින අතර නව ආගම පිලිබඳව දේශනා කරන්නට විය. 1827 නිව්යෝක්හි පැල්මයිරා අසල කන්දක සඟවා තිබූ ධර්ම පුස්තකයක රන්පත් ඉරුවල, පුරාණ ඊජිප්තු රූපාක්ෂරවලින් ලියා තිබෙන සැබෑ ක්‍රිස්තියානි ධර්මය තමන් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන බව පවසමින් ස්මිත් විසින් දේශනා පැවැත්වූ අතර ඔහු එසේ පරිවර්තනය කළ ග්‍රන්ථ ‘මොමෝන් බයිබලය‘ ලෙස සැලකේ. ඉන් පසුව ඔහුගේ දේශනා වලට සවන් ‍දෙමින්, මෝමොන් ආගම ඇදහීමට පටන්ගත් පිරිසද ක්‍රමයෙන් වැඩි විය.

පසුව ස්මිත් ඇතුළු මොමෝන් ආගමිකයින් නිව්යෝක්හි පැල්මයිරා සිට ඔහායෝ ජනපදයේ කර්ට්ලන්ඩ් වෙත පැමිණියහ. ඔවුන් අතර සිටි තවත් පිරිසක් මිසූරි ජනපදය බලා පිටත් විය. ස්මිත් ඇතුළු මෝමොන් භක්තිකයිනගේ ආගමික සිරිත් විරිත්, කර්ට්ලන්ඩ් මුල් පදිංචිකරුවන්ගේ, දැඩි විවේචනයට හසුවිය. මොමෝන්වරුන් විසින් ජේසුස් වහන්සේ දේශනා කළ සත්‍ය වූ ආගම අදහන්නේ තමන් පමණක් බව පැවසීම නිසා ගැටුම් සහගත තත්ත්වයක් උදා විය. අවසානයේදී මොමෝන්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ අතර ඔවුන් මිසූරිය හැර දමා පළා ගියහ. ඔවුන්ගේ ඊළඟ නැවතුම වූයේ ඉලිනොඒ ජනපදයේ මිසිසිපි ගග අසබඩයි. එහි ප්‍රදේශයක් නව්වු ලෙස නම් කරමින් මොමෝන්වරු එහි තම ජනාවාසය පිහිටුවීය.

මොමෝන්වරුන් අනුගමනය කළ ආගමික පුද සිරිත් මෙන්ම ඔවුන්ගේ බහු භාර්යා ක්‍රමයද ඉලිනොඒ ප්‍රදේශවාදීන්ගේ හෙලා දැකීමට ලක්විය. එහිදී ඇතිවූ ආරවුල් හේතුවෙන් 1844 දී මොමෝන් ශාස්තෘවරයාණන් සහ ආගමික නායකයාවූ ජෝසප් ස්මිත් හා ඔහුගේ සොයුරු හයිරම් බන්ධනාගාර ගතකරන ලදී. අනතුරුව බන්ධනාගාරයටද කඩාවැදුණු කැරලිකරුවන් අතින් ස්මිත් හා හයිරම් ඝාතනය විය.

පසුව මොමෝන්වරුන්ගේ නායකත්වයට පත්වු බ්‍රිග්හැම් යං ඇතුළු ශුද්ධවන්තයෝ ඉලිනොඒ හැරදමා යාමට තීරණය කළහ. 1847දී මොමෝන් භක්තිකයන් විශාල පිරිසක් සමග ඇමරිකාවේ නැගෙනහිර සිට මහා ද්‍රෝණි ප්‍රදේශය තරණය කරමින් බටහිරට ගමන් කිරීමට බ්‍රිග්හැම් යං සමත් විය. අවසානයේ යුටා ලෙස හැදින්වෙන ප්‍රදේශයට ඔවුහු පැමිණියහ.

බ්‍රිග්හැම් යං ඇතුළු මොමෝන් අනුගාමිකයින් මහා ද්‍රෝණි පෙදෙස තරණය කරමින්

කිසිදු මිනිසෙකුගේ පහස නොලැබූ ප්‍රදේශයක් බවට මෙම පෙදෙස හඳුනාගත් බ්‍රිග්හැම් යං තම ආගමට හෝ අනුගාමිකයින්ට කිසිවෙකුගේ කරදරයක් හෝ හිරිහැරයක් නොවී නිදහසේ ජීවත් වීම සඳහා නව ජනාවාසයක් ඇරඹීය. විශේෂයෙන්ම නැගෙනහිර ජනපදවලදී තම අනුගාමිකයින්ට විඳින්නට සිදුවූ හිරිහැර පිළිබඳව අවධානය යොමුකල නායකයා නැවත වරක් එසේ කිසිදු බාහිර ජනපද වාසියෙකුගෙන් තම පිරිසට හිරිහැර සිදුවීමට පමණක් නොව තවත් මනුෂ්‍ය ප්‍රාණියෙකු ඇස ගැසිමට ඉඩ නොතැබීමටද සියලු උත්සාහ දැරීය.

මුලින්ම කුඩා දේවස්ථානයක් තනාගත් පිරිස එක් එක් පවුල්වලටද අවශ්‍ය නිවාස ඉතා කුඩාවට සදාගත් අතර සංවිධානාත්මක ජනපදයක් ගොඩනැගීම ආරම්භ කරන ලද්දේ වසර හයකට පමණ පසුවය.

දහස් ගනනක්වූ පිරිස අතර සිටි විවිධ වෘතිකයන් පළමු වසර පහ හය ගත කරන ලද්දේ සම්පූර්ණයෙන්ම තම නව ජනාවාසය සැලසුම් කරමින්ම ගොඩනැංවීම සඳහාය. වඩුවන්, පෙදරේරුවන්, සැලසුම් ශිල්පීන් මෙන්ම කම්කරුවන්ද දිනකට පැය 14ක් හෝ 16ක් මුල් කාලයේදී වැඩ කළහ. මෙම පිරිස අතර සිටි උගත් කමින් වැඩි පිරිසද අළුත් ජනාවාසය ගොඩනැංවීම සඳහා තම දහඩිය සහ ශ්‍රමය වැගිරවූහ.

ඉතා අලංකාර සැලසුමක් සහිතව ඉදිකල විශාලතම ගොඩනැගිල්ල වූයේ ඔවුන්ගේ දේවස්ථානයයි. මෙතෙක් කලක් ඔවුන් සිටි කිසිදු ප්‍රදේශයක ඉදි නොකළ ස්ථිර සහ විශාල දේවස්ථානයක් ඉදිකිරීම ඇරඹූ පිරිස, තම ශ්‍රමයෙන් මෙන්ම ධනයෙන්ද වැඩි කොටසක් ඒ සඳහා යෙදවූහ. කුඩා ජනාවාසය වසර කිහිපයකින්ම කුඩා නගරයක් බවට පත්වූ අතර නගරයේ ප්‍රධානීන් ලෙසද මේවන විට කටයුතු කරමින් සිටියේ මෙමොන් ආගමික ප්‍රධානින්මය. ඒ නිසා ඔවුන් නගරයේ ප්‍රධාන ගොඩනැගිල්ල බවට පත්විය යුත්තේ තම දේවස්ථානය ලෙසද සැලකූහ.

මොමෝන්වරුන් නගරය ඉදිකරමින්

1950 වසරේදී මෙම කුඩා නගරයේ ප්‍රධානීන් තමන් ජීවත්වන ජනාවාසය Deseret (කාන්තාරය) කියා නම් කළහ. පසුව සෝල්ට් ලේක් ලෙස නම්වූ නගරයේ 1953 ඉදිකිරීම් ආරම්භ කළ මොමොන් දේවස්ථානය සම්පූර්ණයෙන් ඉදිකර අවසන් කිරීමට ගතවූ කාලය සුලු පටු නැත. හරියටම වසර හතලිහක් ඔවුන් ඒ සඳහා ගතකර තිබුණි. ඒ අතරවාරයේදී නගරයේ ජීවත්වන ජනතාවට අවශ්‍යකරන සෑම ආයතනයක්ම සහ නිවාසද ඔවුන් ක්‍රමානුකූලව ගොඩනැගීමට සමත්විය.

වසර ගණනාවක් හුදෙකලාව දිවි ගෙවූ සෝල්ට් ලෙක් නගරවාසීන් ව්‍යාපාර ආරම්භ කළහ. නිව්යෝක් ඇතුළු බටහිර ජනපදවල සිට විශේෂයෙන්ම වොෂින්ටන් අගනුවර සිට නැගෙනහිර ජනපද පිහිටුවා තිබූ නෙවාඩා සහ නැගෙනහිර වෙරළේ කැලිෆෝනියාවට ගමන් මාර්ගය පහසුවෙන්ම වැටුනේ සොල්ට් ලේක් හරහාය. එය නගරයේ දියුණුවට ප්‍රධාන හේතුවක් විය. අනතුරුව සෝල්ට් ලේක් නගරය ඉදිකර ඇති යුටාව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන ජනපදයක් බවට පත්විය.

වර්ග කිලෝ මීටර් 648ක් පමණ විශාල වුවත් නගරයේ වත්මන් ජනගහනය වන්නේ ලක්ෂ දෙකක පමණ ජනතාවකි. මේවන විට සෝල්ට් ලේක් නගරය ඇමරිකා එක්සත් ජනපදයේ අන් නගර මෙන්ම හරි හරයට තම රටේ දියුණුවට මෙන්ම අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින් සිටී. සෑම ක්ෂේත්‍රයක්ම අන් නගරවල මෙන්මය. 2002 ශ්‍රීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වූයේද සෝල්ට් ලේක් නගරයේය.

නගරය පුරා පැරණි ආගමික මධ්‍යස්ථාන මෙන්ම මොමෝන් ආගමික නායකයින්ගේ පිලිරූද මුලින් ඉදිකළ ආකාරයෙන්ම තවමත් දක්නට ඇත.

මේ සියලු තත්ත්වයන් යටතේ වුවත් වසර 170කට වඩා ඉතිහාසය පිරික්සීමේදී අපට දක්නට ලැබෙන්නේ නවීන සියලු පහසුකම්වලින් සමන්විත දියුණු නගරයක් වුවත්, සෝල්ට් ලේක් යනු පිටුවහල් කරනු ලැබූ මිනිසුන් කොටසක් විසින් ඉදිකල රමණීය නගරයක් බවයි. තමන් ඇදහූ ආගම නිසා තමන් උපන් බිමෙන් අවස්ථා කීපයක දී ම පිටුවහල් වීමට ලක් වූ මිනිසුන් පිරිසක් විසින් තමන්ගේ දේශයක් වෙනුවෙන්ගොඩනැගූ නගරයක් බවයි.

ඒ අද අපි දකින අති සුන්දර සෝල්ට් ලේක් නගරයේ කථාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button