දේශීය

බැතිමතුන් 16,000කට එකවර යාඥා කළ හැකි කොළඹ මැද පිහිටි ‘රතු පල්ලිය‘

විවිධ කටයුතුවලට කොළඹ කොටුව පැත්තට අනන්තවත් වාර ගණනක් ඇවිත් තිබුණත්, අවුරදු තුනක් සහ දෙකක් විධිහට වරින් වර අවුරුදු පහක් රැකියාව සඳහාත් කොළඹ කොටුව පැත්තේ ගැවසුණත් ‘රතු පල්ලිය‘ කියන එක මට එතරම් අවධානයට ලක් වුණේ නැහැ. ඒ පල්ලිය දැකල තිබුණත් ඇත්තටම මගේ අවධානයට ඒක ලක්වෙලා තිබුණෙම නැහැ. මං හිතන්නේ අවස්ථා සිය ගාණක් මං මේ රතු පල්ලිය දැකලා තියෙනවා. ඒත් ඒක මොකක්ද කියලා මම දැනගෙන හිටියෙත් නැහැ. දැනගන්න ඕන වුණෙත් නැහැ. ඒ නිසා ඇත්තටම ඒක පල්ලියක් කියල වුණත් මට ඒ හැටි දැනීමක් තිබුණේ නැහැ.

ඔය අතර තමයි  “රතු පල්ලිය බලන්න යමුද?” කියා මං දන්න සහෝදරියක් දුරකථනයෙන් මට කථා කරල ඇහුවේ. ඒ එක්කම මට පොඩි මතකයක් වගේ එකක් හිතට ආවත් හරියටම තැන මොකක් ද කියලා ඔළුවට ආවේ නැහැ. ඒ 2017 අවුරුද්දේ අන්තිම හරිය.

‘‘හරියටම තැන මොකක් ද?‘‘ කියලා ඇහුවම

“ඒක මුස්ලිම් පල්ලියක්” කියලා ඒ සහෝදරිය කිව්වා. කොළඹ කොටුව හරියේ තියෙන්නේ. මම තැන හරියට දන්නේ නැහැ. ඔයා දන්නවා ඇති කියලා හිතුවා?‘‘ එයා දිගටම කියාගෙන ගියා.

ඔන්න දැන් මගේ ඔලුවට තැන ටික ටික මතක් වුණා. ඒත් තැන හරියටම මතක නැහැ.

“ඒක අපිට බලන්න යන්න පුලුවන්ද ?”

“ඔව්,  මගෙ මුස්ලිම් යාලුවෙක් කිව්වෙ” ඇය කිව්වා.

‘‘මට ටිකක් මතකයි. අපිට හොයාගන්න පුළුවන්. අපි යමු. කවද ද යන්නේ?‘‘

‘‘සෙනසුරාදා යමු. මම නිවාඩු‘‘ ඒ ඇගේ යෝජනාව.

කාලයේ හැටියට ඒ පල්ලියේ හැඳින්වීම තරමක ප්‍රශ්නාර්ථයක් ඇති කළා. රතු කියන්නේ විප්ලවයේ වර්ණය. ඉස්ලාම් ආගමිකයින් (අපේ රටේ හඳුන්වන්නේ මුස්ලිම් කියලා) සහ ඒ අයගේ සිද්ධස්ථාන සම්බන්ධව දැනට අවුරුදු කීපයක ඉඳලා අපේ රටේ අන්තවාදීන් පතුරුවන ප්‍රචාරයන් මේ වෙන කොට තරමක් භයානක අඩියක තිබුණේ. ඒ නිසාම කොළඹ කොටුවේ තියෙන රතු පල්ලිය කියන්නේ මොකක් ද? ඒකේ වෙන්නේ මොනවා ද? කියලා බලන්න අවස්ථාවක් ලැබෙනවානම් ඒක හුඟක් හොඳයි. ඒ ගැන මගේ ලොකු උනන්දුවක් ඇති වුණා.

ඒ අනුව සෙනසුරාදා රතු පල්ලිය බලන්න යන්න අපි ලෑස්ති වුණා. අපේ පිරිස හය දෙනෙක්.

පිටකොටුව දෙවන හරස් වීදිය කියන්නෙ සතියේ දිනවලදි වගේම සෙනසුරාදා දිනවල උදයවරුවේ ද විශාල ජනතාවක් එහා මෙහා වන වීදියක්. දෛනික රාජකාරිවලට යන අය වගේම අත් කරත්තවලින් බඩු ගෙනියන කුලී කරුවන්, අතින් සහ කරින් බඩු උස්සගෙන යන කුලී කරුවන්, බඩු මිලදී ගන්න එහා මෙහා ඇවිදින පාරිභෝගිකයින් තමයි මේ අතරින් වැඩිම. වීදිය තවත් පටු වෙන්නේ වීදියෙම තියෙන කුඩා තට්ටු සහ එහා මෙහා ගෙනියන්න පුළුවන් විධිහට හදල තියෙන වෙළෙඳ භාණ්ඩ අඩුක්කරල තියෙන තට්ටුවලින්. ඒව උඩ රෙදිපිළි සහ අරුමෝසම් බඩු, මන්නා පිහි වගේ විවිධ භාණ්ඩ විකුණන්න තියල තියෙනවා. ඉමිටේෂන් මාළ වලලු තමන්ගේ අත්වල සහ ඇඟේ එල්ලගෙන විකුණන වෙළඳුන් නිතරම එහා මෙහා ගමන් කරනවා. මේ හැමෝගෙම සද්ද බද්ද නිසා වීදියේ යන කවුරුත් යනේ හුඟක් නොසන්සුන්ව. කොයි වෙලාවක කවුරු ඇඟේ හැප්පේයි ද, බඩු තියෙන හරි නැති අත් කරත්තයක් කොහෙන් හරි ඇවිල්ලා කකුල්වල වදියි ද, කියල බයක් තියෙනවා. මේ මහ පිරිස සහ විශාල සද්ද බද්ද අතරින් වරාය පැත්තට මීටර් 300 ක් විතර පයින් අවිදගෙන ගිය අපි රතු පල්ලිය ළඟ නැවතුනා.

පල්ලිය ඇතුලට ගියාට පස්සේ තමයි තේරුණේ අපි බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නනේ කියලා. එළියේ ඝෝෂාවෙන් අපිට තිබුණ කරදරය සම්පූර්ණයෙන්ම නැති වුණ එක හිතට වගේම ඇඟට පතටත් හොඳයි කියලා තේරුණා. ඒක වචනයෙන් කියන් බැරි සහනයක්. රතු පල්ලියේ දී අපිව පිලිගත්තේ රුස්නි මෆීර් මවුලවිතුමා. වසය අවුරුදු 30 කටත් අඩු තරුණ මවුලවිවරයෙක්. එතුමා, රතු පල්ලිය පිලිබඳව කරපු කෙටි හැඳින්වීම නිසා ම මේ පල්ලියේ යම් විශේෂත්වයක් තියෙනවා කියන එක පැහැදිලි වුණා.

සිංහලෙන් රතු පල්ලිය ලෙස කියද්දි ඉංග්‍රීසියෙන් රෙඩ් මොස්ක් (red mosque) කියනවා. දෙමළ භාෂාවෙන් කියන්නේ ‘සම්මන් කොත්තු‘ කියල යි. අපි එහෙම ‘රතු පල්ලිය‘ කියලා කෙටියෙන් කිව්වත් රතු පල්ලිය නිල වශයෙන් අරාබි භාෂාවෙන් හඳුන්වන්නේ ‘අල්-මස්ජිද් අල්-ජමයිඋල් අල්ෆාර් (Al – musjid – Al – jamiul Alfar) කියලා. මස්ජිද් කියන්නේ පල්ලියට. ජමයිඋල් කියන්නේ දිනපතා පස්වතාවක් ආගම ඇදහීමට සහ සිකුරාදා ‘ජුම්මා‘ ලෙස හඳුන්වන සියලු දෙනා එකතුවෙලා ආගම ඇදහන පල්ලියකට. අල්ෆාර් කියලා කියන්නේ සාර්ථකත්වයට.

රතු පල්ලිය ඉදි කරලා තියෙන්නේ 1908 වර්ෂයේ දී. ඒ ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතුවල යෙදිල හිටිය ඉන්දියානු මුස්ලිම් වෙළඳුන්. තමන් නිතරම වෙළඳ කටයුතුවලට ගැවසෙන කොළඹ කොටුව ප්‍රදේශයේ තමන්ට ආගම ඇදහන්න ස්ථානයක් නැති නිසා ඔවුන්ගේ ධනය වැයකරලා රතු පල්ලිය හදන්න පටන් අරන් තියෙන්නේ. ඉස්සෙල්ලම බිම් මහල, ඉන් පස්සේ පළමු මහල, ඒ එක්කම හෝරාස්තම්භය සහ කොත (Dome) ඉදිකරල තියෙනවා. රතු පල්ලියෙ කොත දෙලුම් ගෙඩියක හැඩයට තමයි හදල තියෙන්නේ. මුල් කාලෙදි හත්සියයක පමණ බැතිමතුන් පිරිසකට පල්ලිය ඇතුළෙ එකවර යාඥා කරන්න පහසුකම් හදලතියෙනවා. හරියටම ශත වර්ෂයකට ආසන්න කාලයකදි 2007 වසරේ දී පල්ලියේ දැන් තියෙන අනිකුත් ඉදිකිරීම් ගොඩනගල තියෙන්නේ. දැන් රතු පල්ලිය මහල් හයකින් යුක්ත අලංකාර දේවස්ථානයක්. කොත් හතක් නිර්මාණය කරල තියෙනවා. ඒ අතර කුලුණු වගේ පෙනෙන ප්‍රාසාද (minarets) 49 ක් තියෙනවා. මුලු පල්ලියටම වර්ණ ආලේප කරලා තියෙන්නේ රතු සහ සුදු වරණයෙන්. හරියටම දෙකට කපපු දෙලුම් ගෙඩියක මැද පෙණෙන ආකාරයට දිස්වන මෝස්තරයකට. කොටු (checked), දැති (jagged), ඉරි (striped) සහ සර්පිලාකාර (spiral) කියන මෝස්තර හතරකින් රතු පල්ලියේ බිත්ති වර්ණ ගන්වලා තියෙන්නේ. වර්ණ ආලේප කිරීමේ දී ස්ප්‍රේ හෝ රෝලර් භාවිතා කරලම නැහැ. සම්පූර්ණ වර්ණ ගැන්වීම් අතින් පින්සල පමණක් පාවිච්චි කරලා සිදුකරන බව මෆීර් මවුලවිතුමා කිව්වා.

රත්පල්ලිය හදන්න මුල් වුණ ඉන්දියානු වෙළඳුන්ගේ මැදිහත්වීම නිසාම මේ පල්ලියේ මූලිකවම දකින්නට තියෙන්නේ ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වුණත් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ මිශ්‍ර වීමකුත් දකින්න තියෙනවා කියලා මෆීර් මවුලවිතුමා අපිට පැහැදිලි කළා. පල්ලිය ඇතුලතින් බිම්මහල සහ පළමු මහල වහලට සම්බන්ධ කරන ඇති දැවැන්ත කණු හතර බැගින් ඇති කණු අට සාදා ඇත්තේ තනිකරම තේක්ක දැවයෙන්. ඒ සඳහා එක කණුවට එක තේක්ක ගස බැගින් යොදාගෙන තියෙනවා. පල්ලියේ අනෙකුත් සියලුම ගෘහ භාණ්ඩ හදල තියෙන්නෙත් තනිකරම තේක්ක දැවයෙන්මයි.

පල්ලියේ මහල් හය තුළම තියෙන ශාලාවල් පාවිච්චි කරන්නේ යාඥා මෙහෙයන් සඳහායි. වර්ග අඩි 50,000ක් පුරා පැතිරිලා තියෙන රතු පල්ලිය ඇතළේ එකවර බැතිමතුන් 16,000 කට ආගමික වතාවත්වල යෙදීමට හැකියාව තියෙනවා. කොරෝනා වසංගත තත්ත්වය ඇතිවෙන්න කලින් සිකුරාදා යාඥාවන් සඳහා සාමාන්‍යයෙන් 12,000 ක පිරිසක් එකවර සහභාගී වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථාන අතරින් වඩා ලස්සනම, වඩා විශාලම සහ එකවර වැඩිම බැතිමතුන් පිරිසක් යාඥාවන් සඳහා සහභාගීවන මුස්ලිම් දේවස්ථානය මේ රතු පල්ලිය කියලයි මෆීර් මවුලවිතුමා කියන්නේ. ඒක රතු පල්ලියේ තියෙන තවත් විශේෂත්වයක්. ඒ වගේම රතු පල්ලියට ප්‍රවේශ මාර්ග දෙකක් තිබුණත් ඒ එකකින්වත් වාහන පල්ලියේ මිදුලට ඇතුල් කරන්න අවසර දෙන්නේ නැහැ. ඒක රතු පල්ලියේ ආරක්ෂාවට වගේම බැතිමතුන්ගේ පහසුවටත් හේතුවෙලා තියෙනවා.

රතු පල්ලිය බලන්න ගිය අපේ පිරිස හය පිරිමි තුන් දෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක්. අපි හය දෙනාටම පල්ලියේ අපිට බලන්න ඕන හැම තැනකටම යන්න පුළුවන් වුණා. අපි හය දෙනාම සිංහල ඒ වගේම එක්කෙනෙක්වත් ඉස්ලාම් ආගමිකයෝ නෙවෙයි. අපේ පිරිසේ කාන්තාවන්ගේ අඳුම (එක් කෙනෙක් දණිහිස ළඟට කොට ගවුමක් ඇඳල හිටියත්) පල්ලිය අතුළට යන්න බාධාවක් වුණේ  නැහැ.

ඒක ඇත්තටම හොඳ අත්දැකීමක්. පුලුවන් අය පුලුවන් වෙලාවක අපේ ඉස්ලාම් බැතිමතුන්ගේ පල්ලියක් දෙකක් බලන්න යන්න. ඒකෙන් නරකක් වෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button