ක්‍රීඩා

අංගම් සටන් ක්‍රමය ශ්‍රී ලංකාවේ ගොඩනගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න ඕන – පියුමාල් එදිරිසිංහ

අංගම් සටන් ක්‍රමය ගැන රූපවාහිනී නාලිකාවල දැං වැඩසටහන් වැහි වහැල. උඩට අඳුමක් නැතුව සරම් වගේම විවිධ වෛවාරන් රෙදි ඇඳගත්තවුන්, කොණ්ඩ වවාගෙන එක එක විලාසිතා දාගත්ත වුන්, අපි කවුරත් දන්නෙ නැති එක එක ලී කෑලි වගේම ආයුධ ගත්ත වුන් කියන්නේ ‘‘අපි රාවණා පරම්පරාවේ, අපේ පරම්පරාව තමයි අංගම් සටන් ක්‍රමය හැදුවේ. අපි තමයි අංගම් සටන් ක්‍රමය ආරක්ෂා කළේ, අපි තමයි හරියටම අංගම් දන්නේ කියලා. කිසිම ආයුධයක් අල්ලන්නේවත් නැතුව, කිසිම සටන් අංග චලනයක් සිදු කරන්නේ නැතුවම උන් ‘අංගම් කිං‘ ලා කියලා කියනවා. අපිත් ඒවා අහනව. මේකේ කෙළවරක් නැහැ. මෙහෙම අංගම් දන්න, උගන්නන, මාස්ටර්ලා සිය ගාණක් ඉන්නවා. එවුන් කියන විධිහකට දාහකට දෙදාහකට තනියෙන් ගේමක් දෙන්න යන්නේ විනාඩියයි. පුදුම බයක් හිතෙනවා. මේක ඇත්තමද?

ඒ අතර මට හමුවුණා. ඉංජිනේරුවෙක්, නිකම්ම ඉංජිනේරුවෙක් නෙමෙයි පරිගණක පද්ධති ඉංජිනේරුවෙක්. හමුවුණෙත් නිකම්ම නෙමෙයි සම්මාන අරගෙන එද්දි. නම පියුමාල් එදිරිසිංහ. සම්මාන ලැබිලා තියෙන්නේ ඉංජිනේරු වැඩකට එහෙම නෙමෙයි. අංගම්වලට. අංගම් සටන් ක්‍රමය ගැන තියෙන ප්‍රශ්න ටිකක් එයාට දැම්ම කොහොම උත්තර දෙයිද බලන්න.

ආත්මාරක්ෂක සටන් ක්‍රම ආරම්භ වුණේ කොහොම ද?

ඒක ඇතිවුණේ මිනිසා බිහිවන විටමයි. තමන්ට තිබුණු ස්වාභාවික උපද්‍රවවලින් වගේම සතුරු උපදුවවලින් මිදෙන්න මුලින්ම කළේ දුවන එකයි. දුවන එකත් එක ආත්මාරක්ෂක ක්‍රමයක්. ඊලඟට තමන්ට තියෙන සතුරු උපද්‍රවවලින් බේරෙන්න කළේ අතට අහුවෙන ගල් කෑලිවලින්, ලී කෑලිවලින් ගහන්න පුරුදු වුණ එක. ඊටත් පස්සේ පොලු කෑල්ලක් අරං වනන්න පුරුදු වුණා. ඒ විදිහට තමයි අවුරදු දාස් ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ ආත්මාරක්ෂ ක්‍රම දියුණු වුණේ. ආත්ම ආරක්ෂාව සඳහා යොදන ඒ ක්‍රම සටනක් වුණ නිසා ආත්මාරක්ෂක සටන්ක්‍රම වුණා. ඒ අතර ආත්මාරක්ෂාව ගැනම වැඩියෙන් හිතපු සහ අත්හදා බලපු අය තමන තමන්ගේ විධි ක්‍රම ගොඩනගා ගත්තා.

උදාහරණයක් විදිහට රාවණා රජු වගේ කෙනෙක් සටනට අති දක්ෂයෙක් වෙන්න ඇති.ඒ නිසාම එයාට පුලුවන් වෙන්න ඇති එයාගෙ ක්‍රමයක් හදන්න. අළුත් දෙයක් එකතු කරන්න. අපි හිතනවා අංගම් කියන් සටන් ක්‍රමයේ හිටිය දක්ෂතමයා රාවණා රජු කියලා.

අංගම් සටන් ක්‍රමය ගැන කිව්වොත්?

අංගම් කියන්නේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් හුඟක් අය අංගම්පොර සටන් ක්‍රමය කිව්වට ඒක වැරදියි. සටන් ක්‍රමය හඳන්වන්නේ අංගම් කියලා. අංගම් සටන් ක්‍රමය හුඟක් පැරණි දේශීය පාරම්පරික සටන් ක්‍රමයක් මේ සටන් ක්‍රමයේ ලිඛිත නොවන ඉතිහාසය වසර පන්දාහක් පමණ ඈතට දිව යනවා. ලිඛිත ඉතිහාසය අවුරුදු දෙදාස් පන්සීයක් පමණ වෙනවා. මහා වංශය සහ චූලවංශයේ පවා අංගම් සටන් ක්‍රමය ගැන දැක්වෙනවා. ‍මේ සටන් ක්‍රමයේ හිටිය හොඳම සටන් කරුවා ලෙස සැලනෙක්නේ රාවණා රජතුමායි.

අංගම් ශාස්ත්‍රයේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා අංගම්පොර, ඉලංගම්පොර, මායා අංගම්, දේහ ධම්ම වෛද්‍ය විද්‍යාව, බෙරවාදනය සහ ජේතිෂ්‍ය කියලා. ඒ අතරින් අංගම්පොර කියන්නේ අතින් පයින් කරන සටන් ශිල්පයට. ආයුධවලින් කරන සටන් ශිල්පයට කියන්ණේ ඉලංගම්පොර කියලා. අපි උගන්වන ප්‍රධානම සටන් ශිල්ප දෙක තමයි. අංගම්පොර සහ ඉලංගම්පොර. ඉලංගම්පොර සටන් ශිල්පයට අයත් ආයුධ 21ක් අපි භාවිතා කරනවා මේ සටන් ශිල්පයේ ඇති ආයුධ ජීවිතකාලයේදී පුහුණු වෙලා අවසන් කරන්න බැහැ. මොකද කඩුව කියන ආයුධය ගත්තොත් නැවත ඒක කඩු වර්ග 32කට බෙදෙනවා. ඒ වගේ ගොඩක් ආයුධ නැවත නැවත බෙදෙනවා. ඒ නිසා ආයුධ විශාල සංඛ්‍යාවක් තියෙනවා ඉලංගම්පොර සටන් ශිල්පය හදාරන්නන්ට.

ලංකාවේ අංගම් සටන් ක්‍රම ගුරුකුල කීයක් තියෙනවද?

ඒක හරියටම කියන්න බැහැ. මොකද ලංකාවේ රාජධානි කීපයක්ම තිබ්බා. ප්‍රාදේශීය රාජධානි ගණනාවකුත් තිබුණා. ඒ හැම රාජධානියකම සේනාවක් හිටියා. සේනාවක් හිටියනම් ඒ අය සටන් කරන්න ලෑස්තිවෙලයි හිටියේ. ඒ කියන්නනේ ඒ සේනාව සටන් ක්‍රම හදාරලා ඉන්නේ. එහෙම වෙන්න නම් සටන් ක්‍රම උගන්වන කණ්ඩායමකුත් ඉන්න ඕන. ඒ නිසා ඒ හැම තැනකම සටන් ක්‍රම උගන්වන ගුරුකුල තිබුණා. ලංකාවේ අංගම් කියන්නේ පාරම්පරික සටන් ක්‍රමයක් නිසා ඒ හැම තැනකම අංගම් සටන් ක්‍රමය තියෙන්න ඇති. ගුරුකුල කීපයක් තියෙන්න ඇති.

අංගම් සටන් ක්‍රමයට ඔබේ උරුමය කුමක්ද?

මට සටන් ක්‍රමය උරුම වෙන්නේ අම්මගේ පරම්පරාවෙන්. අම්ම වර්ණසූරිය පරම්පරාවේ. ඒ පරම්පරාවේ දේශීය වෛද්‍යවරු ඉඳළා තියෙනවා. දඹදෙණිය යුගයේ හිටපු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ රාජකීය වෛද්‍යවරයා සහ සෙන්පති කියන තනතුරු දෙකම දරලා තියෙන්නේ වර්ණසූරිය මුදියන්සේ කියන රණකාමියා. එයාට ලැබුණු නින්දගම තමයි අලව්ව කියන්නේ. අදටත් එහෙ ඉන්න මුල් පදිංචිකරුවන්ගේ නම් පටන් ගන්නේ වර්ණසූරිය මුදියන්සේ කියලා. අපේ පරම්පරාවේ සටන් ශාස්ත්‍රය එක්කම වෛද්‍ය ශාස්ත්‍රයත් තිබිල තියෙනවා. ඒකෙන් මම සටන් ශාස්ත්‍රය හදාරලා තියෙනවා. ඊට අමතරව මම කෝට්ටේ පරම්පරාවේ ගුරුවරුන්ගෙන් සටන් ක්‍රමය හදාරලා තියෙනවා. තව නුවර පරම්පරාවේ මාතලේ චාල්ස් වර්ණකුලසූරිය ගුරුවරයනෙුත් සටන් ක්‍රම ඉගෙනගෙන තියෙනවා.

ශ්‍රී ලංකාවේ අංගම් සටන් ක්‍රමයේ තියෙන ශ්‍රේණිගතකිරීම් මොනවද?

ලංකාවේ එහෙම එකක් නැහැ. නමුත් අපේ සංගමය (ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය සටන් කලා සංගමයේ (STIMA)) ඇතුළේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් තියෙනවා. අපි හොඳින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය පවත්වාගෙන යනවා. අපේ සංගමය වාර්ෂිකව තරඟ සංවිධානය කරලා නිසි පරිදි ඒ ශ්‍රේණිගත කිරීම් සිදු කරනවා.

ශ්‍රී ලංකාව ඇතුළේ අංගම් සටන් ක්‍රමය සඳහා එකඟතාවක් නැත්තේ ඇයි? තරඟ නීති රීති ඇතුලත් නියමිත පාඨමාලා ක්‍රමයක් සහ ශ්‍රේණිගත කිරීම් සකස් කරන්න බැරි ඇයි?

ඒක තමයි ප්‍රශ්නය. ක්‍රීඩා අමාත්‍යාංශය, යුද හමුදාව සහ අපේ රටේ තවත් අංගම් සටන් ක්‍රමය කරන කිහිප දෙනෙක් එකතුවෙලා (ඒ කට්ටිය ඇත්තද කරන්නේ බොරුද කරන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක්) පිහිටුවා ගත්තා ජාතික අංගම්පොර සම්මේලනය. ඇත්තටම ඉස්සෙල්ලම ඒක හැදුවෙ මමයි සඳුනුයි එකතු වෙලා. ආරම්භයේ දී ම හිටිය මහලේකම් මම. ඊට පස්සේ අපි ඒක යුද හමුදාවට දුන්නා. ඒ ගොල්ලො කිව්වා අපිට දෙන්න අපි කරන්නම් කියලා. මොකද අපිට වඩා ඒ අයට පහසුකම් සහ වෙලාව තියෙනවා ඒ කාර්යය කරන්න. හැබැයි ඊට කලිනුත් මට ක්‍රීඩා අමාත්‍යාංශය කිව්වා අංගම් තරග ක්‍රමයක් හදන්න. තරඟ ක්‍රමයක් යෝජනා කරන්න කියලා. මට ඉන්දියානු සම්බන්ධකම් තියෙන නිසාත් ඉන්දියාවේ ‘කලනි පයාට්ටු‘ කියන සටන් ක්‍රමය එහෙම ජාත්‍යන්තර තැනකට ගෙනල්ලා තියෙන නිසාත් ඒ දැනුමත් එක්ක මට ඒක කරන්න පුළුවන් වුණා. මම ඉන්දියාවේ ගිහිනුත් කලරි පයාට්ටු සටන් ක්‍රමය ගැන අධ්‍යනයක් කළා. මම අන්තිමට අංගම් සටන් ක්‍රමය ගැන තාක්ෂණික වාර්ථාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට දුන්නා. කිසිම අඩුපාඩුවක් නැහැයි කියන්නම සම්පූර්ණ වාර්ථාවක් මම දුන්නා. දුන්න දුන්නම තමයි ඒක එච්චරයි. පහුගිය අවුරුද්දේ යුද හමුදාව මට නැවතත් කිව්වා ‘‘පියුමාල් ඔයාම අළුත් විෂය නිර්දේශයක් හදන්න‘‘ කියලා.

ඉන්දියාවේ තියෙනවා මේ සටන් ක්‍රමය ගැන ලියලා. අවුරුදු දාස් ගාණනක විස්තර වුණත් තියෙනවා. අපේ ඒක නැහැ. දැං ඔයාට හෙට වුනත් පුළුවන් සරමක් ඇඳගෙන අංගම් සටන් ගුරුවරයෙක් කියල පෙනී ඉන්න. මට ඔයාව ප්‍රශ්න කරන්න බැහැ. ඉන්දියාවේ එහෙම නැහැ. කවුරු ආවත් ලිඛිතව තියෙන ටික කරන්න පුළුවන් වෙන්න ඕන. කරල තියෙන්න ඕන. ඔවුන්ගේ විෂය නිර්දේශයක් තියෙනවා. අපිට එහෙම එකක් නැහැ. කඩුවක් හරියට අල්ලන්න දන්නේ නැති අය කොහොමද විෂය නිර්දේශ හදන්නෙ. මටත් ලැජ්ජයි උන් එක්ක එකට වාඩිවෙන්න. උන් ගුරුවරු කියලා ඇවිල්ලා වාඩිවෙනවා.

(මේ තමයි අපේ රටේ අංගම් සටන් කලාවේ අංගම්පොර කියන ආයුධ නැතිව කරන සටන් ශාස්ත්‍රයේ දැං තියෙන ඇත්ත තත්ත්වය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button