විදේශීය

ඇමෙරිකාවෙන් පලස්තීනයට ආධාර – ඊශ්‍රායලය අවුලෙන්

ජෙරුසලම අගනුවර ලෙස නොපිළිගන්නා කිසිදු විසඳුමක් තමන් විසින් පිළිගැනීමට සූදානම් නැති බවට පලස්තීන විමුක්ති සංවිධානය හා හාමාස් සංවිධානය තරයේ ප්‍රකාශ කර සිටින තත්ත්වයක දී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 235ක ආධාර ලබා දීමට තීරණය කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ තීරණය ගෙන තිබෙන්නේ බහුජාතික සමාගම් විසින් උපයාගනු ලබන අතිවිශාල ලාභ මත බදු පැනවීමට ඔහුගේ රජය තීරණය කිරීමෙන් පසුවය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම පියවර සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේවන විටත් සිය කණස්සල්ල සහ ‍නොසතුට ප්‍රකාශ කර ඇත. එසේම ඇමෙරිකානු නව ජනාධිපතිවරයා විසින් ඉරානය සමග ගිවිසුමකට පැමිණීම පිළිබඳවද කේන්ති ගෙන සිටින ඊශ්‍රාලය ඇමෙරිකානු ඩිමොක්‍රටික් ජනාධිපතිවරයාගේ පාලනයේ මෙම නව වෙනස්වීම පිළිබඳව අවුලට පත්වී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාව විසින් මෙම මුදල් ලබාදෙනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ‘අන්ර්වා‘ (Unrwa) කාර්යාංශය මගිනි. ලබා දෙන මුදලින් ඩොලර් මිලියන 75ක් ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් වන අතර නීතිය හා සාමය පවත්වා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දීමට නියමිතය. ‘පලස්තීනය හා ඊශ්‍රාලය රාජ්‍යයන් දෙකක් ලෙස දෙරටේ නායකයින් පිළිගත යුතුය යන සංකල්පය මෙම මුදල් ලබාදීමේදී ප්‍රධාන කොන්දේසිය බවට පත්වී තිබේ.

ඇමෙරිකාව විසින් පලස්තීනය පිළිබඳ අළුත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්බන්ඳව යම් තීරණයක් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීමක් නොකිරීම ගැන ඊශ්‍රාලය සිය කණස්සල්ල පලකර තිබූ බවද වාර්තාවේ. එහිදී ඊශ්‍රායලය විරෝධය පලකරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලබාදෙන මෙම මුදල් ඊශ්‍රාලයේ සිරකර සිටින පලස්තීන දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සහ පලස්තීන පාසැල් තුල යුදෙව් විරෝධී අධ්‍යාපනයන් ලබාදීම සඳහා යොදවනු ලබන බවටයි.

එහෙත් ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ලබා දුන් සෞඛ්‍ය ආධාර හා එන්නත් පලස්තීනයේ දරුවන්ට ලබා නොදීම නිසා අන්තර් ජාතික ප්‍රජාවෙන් ඊශ්‍රාලයට දරුණු චෝදනාවක් එල්ලවී ඇත. ඊශ්‍රායලයේ මෙම ක්‍රියාමාර්ගය නිසා පලස්තීන ජනතාව විශේෂයෙන්ම දරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇති බවද වාර්තා වේ.

පසුගිය රිපබ්ලිකන් පාලන සමයේ දී ඊශ්‍රාලයේ අගනුවර ලෙස නොබෙදුණු ජෙරුසලමක් පිළිගනිමින් කටයුතු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහිදී අනෙකුත් රටවලට ද එසේ කරන ලෙස බලකරමින් නව සැලැස්මක් ද ඉදිරිපත් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීනය සම්බන්ධයෙන් වූ සියළුම පිළිගැනීම් සහ යෝජනා උල්ලංඝණය කරමින් සිදුකල එම සැලස්ම පලස්තීනය ඇතුළු අරාබි රටවල් ප්‍රතික්ෂේප කළහ.

එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ පාලන කාලයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීනය වෙනුවෙන් පිහිටුවා ඇති අදාළ කාර්යාංශයට මුදල් ලබාදීමද නැවැත්වීය. තවද ඊශ්‍රාලයට සහය ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමෙන්ද ඇමරිකාව ඉවත්කර ගැනීමට ට්‍රම්ප් පියවර ගත්තේය. ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් සහ එක්සත් ජතීන්ගේ සංවිධානයේ පිළිගැනීම් නෙතකා හරිමින් ඊශ්‍රාලය විසින් ආක්‍රමණය කර අල්ලාගෙන සිටින සිරියාවේ ගෝලාන් කඳුකර ප්‍රදේශය හා ජෝර්දානයේ  බටහිර ඉවුරු ප්‍රදේශයත් නීති විරෝධී නොවන බවටද ප්‍රකාශයට පත් කළේය. ට්‍රම්ප්ගේ මෙම හිතුවක්කාර ක්‍රියාවට බටහි රටවලින් ද එතරම් සහායක් හිමි නොවූ අතර එජා සංවිධානය ද තරයේ හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button