දේශීය

ඥාණසාර හිමිව කවුරුවත් ඝාතනය කරන්නේ නැහැ

තමන්ව ඝාතනය කිරීම සඳහා යම් ආගමික කණ්ඩායමකට සම්බන්ධ පිරිසක් මෙරටට පැමිණ සිටින බවත් ඔවුන් මාලදිවයිනේ සිට පැමිණ සිටින බවත් ඥාණසාර හිමියන් පවසා ඇති අතර එම තර්ජනය සම්බන්ධයෙන් තමන්ව බුද්ධි අංශ දැනුවත් කළ බවද තවදුරටත් දක්වා තිබුණි.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැදිහත් විචාරකයින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සාධාරණීය කරණය කරනු පිණිස නැතහොත් එය තහවුරු කරමින් රාජ්‍ය ආරක්ෂාවට අනතුරක් ඇති බවට ජනතාව නොමඟ යැවීම සඳහා ඥාණසාර හිමි පෙරට පැමිණ ඇති බවයි. විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැටී සිටින අසීරුතාවයෙන් ගොඩ ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය පිට දමා බදියුදීන් මන්ත්‍රීවරයා සහ හොහොයුරා අත්අඩංගුවට ගත්තත්, මෙයට පෙර ඔවුන් අත්අඩංගුවෙන් නිදහස් වූයේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවට පොලිසිය ප්‍රකාශ කිරීමෙන් පසුය. ඒ නිසා බදියුදීන් හොහොයුරන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිවෙකුගේ ප්‍රසාදයක් නොමැති අතර එය හුදෙක් රජයේ ඇඟ බේරා ගැනීමක් පමණක් බව ජනතාව වටහා ගෙන සිටිති.

මේ තත්ත්වය යටතේ ඥාණසාර හිමි ඝාතනයක් අති බව බවසා නැවත වතාවක් ඉස්ලාම් භක්තිකයන් සහ බෞද්ධ සමාජය අතර යළි විරසකයක් ඇති කිරීමට රජය උත්සාහ දරන අතර බෞද්ධ සමාජයට ඇති තර්ජනයෙන් එම සමාජය ගලවා ගැනීමට සිටින එකම පුද්ගලයා තමා බව පවසන ඥාණසාර හිමි මේ අවස්ථාවේදී ඉදිරියට පැමිණ තමාට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් තර්ජන ඇති බව පවසා පාස්කු සිදුවීමට සම්බන්ධ නොමැති බෞද්ධ අන්තවාදී කොටස් ද ඒ කරා තල්ලු කිරීමට උත්සාහ දරනු දක්නට ලැබේ.

එහෙත් කුමන අන්තවාදී කොටසක් හෝ තමන්ගේ සතුරු පිලේ අන්තවාදීන් ඝාතනය කිරීමට උත්සාහ දරන්නේ කලාතුරකිනි. මන්ද අන්තවාදීන්ගේ ක්‍රියාවලින් නිරන්තරයෙන් වාසි සැලසෙන්නේ අනෙක් පාර්ශවයේ අන්තවාදීන්ට වන නිසාය. කළින් සිංහල අන්තවාදී න්ගේ ක්‍රියා නිසා දෙමළ අන්තවාදය පෝෂණය වූ අතර දෙමළ අන්තවාදයේ ප්‍රතික්‍රියාවන්වලින් සිංහල අන්තවාදය තව තවත් පෝෂණය විය. එහෙත් කුමන අවස්ථාවකවත් දෙමළ අන්තවාදී හෝ ආයුධ සන්නද්ධ කණ්ඩායම් සිංහල අන්තවාදීන් ඝාතනය කිරීමට පෙළඹුණේ නැත. ඒවෙනුවට ඔවුන් අතින් ඝාතනය වූයේ සිංහල-දෙමළ සංහිදියාව වෙනුවෙන් පෙනී සිටි සිංහල සහ දෙමළ සාමකාමී බුද්ධිමතුන්ය.

ඥාණසාර හිමි ඇතුළු අන්තවාදීන් විසින් පසුගිය කාලයේ දී විශේෂයෙන්ම අළුත්ගම වැනි ප්‍රදේශවල සිදු කළ අන්තවාදී ක්‍රියා සහ ඉස්ලාම් භක්තිකයින්ට සිදු කළ ප්‍රහාරවලින් ඉස්ලාම් අන්තවාදී කොටස් ශක්තිමත් වූවත් ඔවුන් කුමන අවස්ථාවකවත් ඥාණසාර හිමි ඇතුළු බෞද්ධ අන්තවාදීන්ට ප්‍රහාර එල්ල කළේ නැත.

ඉදිරියට සිදු වන්නේ ද එයමය. ඥාණසාර හිමි නැවත වරක් මෙරට ඉස්ලාම් ජනකොටසට විරුද්ධව සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් තුළින් ඉස්ලාම් අන්තවාදය කරා ඉස්ලාම් තරුණ කොටස් යොමු විය හැකි අතර එය රටේ සාමයට විශාල තර්ජනයකි. එසේ වුවත් එම ඉස්ලාම් අන්තවාදීන් කුමන අවස්ථාවක හෝ ඥාණසාර හිමි ඇතුළු බෞද්ධ අන්තවාදීන්ට ප්‍රහාර එල්ල නොකරනු ඇත. ඒ තමන්ගේ අන්තවාදය කරා ඉස්ලාම් තරුණ කොටස් වැඩි වැඩියෙන් යොමු කරන්නේ ඥාණසාරලාගේ බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වල ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් මඟින් වන නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button