දේශපාලන

සුළු ජාතීන්ගේ අයිතිය අහිමි කළ පළාත් සභා මැතිවරණ කල් දැමීම

2019 ඔක්තෝබර් මාසයේ දී ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමගම සියලුම පළාත් සභාවල නිල කාලයන් අවසන් වු අතර මේ වන විට පළාත් සභා පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් මඟිනි. එහි අදහස වන්නේ දැන් සියලුම පළාත් සභා පාලනය වන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයෙන් බවයි. ඒ අනුව සියලුම පළාත් සභා පොදු ජන එක්සත් පෙරමුණු පාලනය යටතේ පවතී.

මෙය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොතකා හැරීමකි. රජයට මේ ආකාරයෙන් පාලනය ගෙන යාමේ කිසිදු අයිතිවාසිකමක් නොමැත. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් සභාවල පාලනය පොදු ජන පෙරමුණ පාලනයකට යටත් කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. එම පළාත් සභාවල ජනතාවගේ පාලන බලතල අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. විශේෂයෙන්ම උ.ුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට සිදු වූ අගතිය අතිමහත්ය.

නැගෙනහිර පළාතේ පාලනය එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පළාත් සභා මැතිවරණයෙන් පසුව ඔවුන් හා එක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා ජාතික නිදහස් පෙරමුණ සමඟ එක්ව ගෙන ගියත් සමස්ත පළාත් සභාවේ ආසන 37න් එජනිසට හිමිව තිබුණේ ආසන 14ක් පමණි. ශ්‍රීලමුකො ආසන 7ක් සහ ජානිපෙ ආසන 1ක් හිමිව තිබුණි. මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ජානිපෙ එක්ව සිටින නිසා ආසන 15ක් ලෙස එක්ව සිටියත් ශ්‍රීලමුකො පොජපෙ සමග එක්ව නැත. එම නිසා විපක්ෂයේ සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය (ආසන 11ක්) හා එක්සත් ජාතික පක්ෂය (ආසන 4ක්) ට හිමි ආසන 15 නිසා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ ආසන 7 තීරණාත්මක වන අතර පොදු ජන පෙරමුණු රජය විසින් මේ දිනවල ගෙනයන මුස්ලිම් විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් කිසිසේත් ඔවුන්ගේ සහාය රජයට හිමි වේ යැයි සිතිය නොහැකිය.

බරපතලම තත්ත්වය වන්නේ ආසන 38 පවතින උතරු පළාත් සභාවේ පාලනය ආසන 30ක් හිමිකර ගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය හිමිකර ගෙන සිටි අතර මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දැරූ සන්ධානයට හිමිව තිබුණේ ආසන 7ක් පමණි. ඒ නිසා වෙන කිසිදු පළාත් සභාවක නොතිබූ බලයක් දරමින් ද්‍රජාස උතුරු පළාත් සභාවේ පාලනය ගෙන ගියේය.

තත්ත්වය එසේ වුවත් පළාත් සභාවල නිල කාලය අවසන් වීමෙන් පසුව සියලුම පළාත් සභාවන් ආණ්ඩුකාරවරුන් මඟින් පාලනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උතුරු සහ නැගෙනහිර පළාත් සභාවල සුළු ජාතීන්ගේ තම පළාත් සභා සඳහා තම නියෝජිතයින් පත්කර ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම උදුරා ගෙන තිබේ.

එසේ වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් පසු පළාත් සභා අහෝසිකරන බව රජය පැවසුවත් නැවතත් පැරණි ක්‍රමය යටතේම පළාත් සභා මැතිවරණය පවත්වන බව පවසන්නේ ඉන්දීය රජයේ බලපෑම නිසාය. විශේෂයෙන්ම ඉදිරියේ දී මානව හිමිකම් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයට එරෙහිව ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර විමර්ශනවලින් බේරීමට ඉන්දීය සහාය අවශ්‍ය නිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඉන් පැහැදිලි වන්නේ මෙරට ද්‍රවිඩ ජනතාව ඇතුළු සුළු ජාතීන්ට තම දේශපාලන අයිතිවාසිකම් හිමිවන්නේ ඉන්දියානු බලපෑම් නිසා බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button