දේශපාලන

ත්‍රස්තවාදී රජය සහ රාජ්‍යතාන්ත්‍රික NGO

මහින්ද රාජපක්ෂ රජය LTTE යට එරෙහි යුද්ධය ආරම්භකර ටික කාලයකින්ම රාජ්‍ය නොවන සංවිධාන යනු LTTE සංවිධානය හා සමානවම තමන්ගේ ප්‍රධාන සතුරකු ලෙස සැළකීය. LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු රාජපක්ෂ රජයේ නොම්මර එකේ සතුරා බවට නිතරඟයෙන්ම පත්වූයේ රාජ්‍ය නොවන සංවිධාන නැතහොත් බොහෝ දෙනා දන්නා භාෂාවෙන් කියනවා නම් NGOය.  එමෙන් ම රටතුල තම ජනප්‍රියත්වය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ත්‍රස්තවාදයට සහාය දුන් බවට ද, ඔවුන්ට දේශ ද්‍රෝහී ලේබල් ඇලවීම ද, ඔවුන් බටහිර රටවල බළල් අත් බව පෙන්වීමද නිරන්තරයෙන් සිදුවිය.

LTTE යට එරෙහි යුද්ධය නිමවුවද රාජ්‍ය නොවන සංවිධාන සමග වූ විරසකය නිමාවූයේ නැත. රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය  අඩපන කිරීම සඳහා විවිධ චක්‍රලේඛන සහ අණපනත් මගින් දිගින් දිගටම උත්සාහ දරන ලදී. එසේම රාජ්‍ය බුද්ධි අංශ සේම, ත්‍රස්ත විමර්ශන අංශයන්ද, අපරාධ විමර්ශන දෙපාර්තමේන්ත්‍රවද, ත්‍රිවිධ හමුදාවල ඇතැම් පාර්ශවයන්ද ඒ සඳහා යොදා ගන්නා ලදී. 2013 පමණවන විට රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම සහ රජයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණවූ, ජනතාව දැනුවත් කළ සහ ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වූ රාජ්‍ය නොවන සංවිධානයන්ට ශ්‍රී ලංකාව තුල තම වැඩකටයුතු කරගෙනයා නොහැකි තත්ත්වයටම පත්විය. එය වසර තණනාවක් තිස්සේ පැවති තත්ත්වයකි. මෙම මර්ධනය හමුවේ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන තම දෛනික කාර්යයන්ගෙන් බැහැරව සිටි අතර තවත් එවැනි සංවිධාන රජයේ මර්ධනයට හසු නොවන රජයට කිසිදු බලපෑමක් ඇති නොවන කටයුතුවල නිරතවිය.

නමුත් මෙවැනි මර්ධනයක් ඇති අවස්ථාවක මූලිකම කාර්යය විය යුත්තේ රටතුල ප්‍රජාතන්තුවාදය ආරක්ෂාකිරීම බව සිතා තම සංවිධානවල ආරම්භක අරමුණු පසෙක තබා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානද විය. ඔවුන් රටතුල ප්‍රජාතන්තුවාදය පිහිටුවීමට නම් රාජපක්ෂ රෙජීමය පරාජයකළ යුතු බව විශ්වාස කරමින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මූලිකත්වය දුන්හ.

2013 වසරේ කොළඹ දී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කල මානව හිමිකම් සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා ස්ථානයක් සොයා ගැනීම දුෂ්කර විය. සමුළු පැවැත්වීම සඳහාම වෙන්කර තැබෙන සම්මන්ත්‍රණ ශාලා ඇතුළු කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ස්ථානයක් ලබා ගැනීමට නොහැකි විය. රජය විසින් සිය හමුදා සහ පොලිසිය මෙන් ම දේශපාලන බලවතුන් ද මඟින් සංවිධායකයින්ට කිසිදු ස්ථානයක් ලබා නොදෙන ලෙස දන්වා සිටියේ තර්ජනය කිරීම් ද සහිතවය. එය කොතරම් බලවත් තර්ජනයක් වී ද යත් සමුළුව සඳහා තම ශාලාවක් ලබා දීමට එකඟ වී සිටි ආගමික මධ්‍යස්ථානයක් ද පසුව සිය ශාලාව ලබා නොදීමට තීරණය කළේය.

අවසානයේ සංවිධායකවරු අතරින් ඇතැමෙකුගේ අකැමැත්තෙන් වුවද සමුළුව පැවැත්වූයේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතට අයත් ප්‍රධාන ශාලාවේය. සමුළුවේ දෙවැනි දවස මුළුමනින් ම ගත වූයේ රාජපක්ෂ රාජ්‍ය මැරයන් සහ ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුළු මැර භික්ෂූන්ගේ තර්ජනය හා සිරිකොතට පිට සිට කළ ගල් මුල් පහරදීම් සහ බාධා කිරීම් මධ්‍යයේ ය. එක් අවස්ථාවක දී මැර භික්ෂූන් සිරිකොතට කඩා වැදුණු අතර තම දරුවන් අහිමිවීම නිසා යුක්තිය ඉල්ලා සිටි උතුරු-නැගෙනහිර මව්වරුන්ට ද තර්ජනය කළහ.

ඒ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ පැවැති තත්ත්වයයි. එකළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයාටත් වඩා ඉදිරියට යමින් රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා අවහිර කරමින් සිටී. ඒ අනුව යොදාගත්  ආකාරයට තම ක්‍රියාකාරිත්වය පිළිබඳව යළි සිහිකර ගැනීමටත්, ඒ මත සිට ඉදිරියේදී තමන් ශ්‍රී ලංකාව තුල හැසිරිය යුත්තේ කෙසේද යන්න කල්පනා කිරීමටත් අවස්ථාවක් වත්මන් රජය විසින් රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබාදී ඇත.

ඒ දිගින් දිගටම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වයන්ට බාධා කරමිනි. තර්ජනය කරමිනි. විශේෂයෙන්ම රජයේ මානව විරෝධී කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සහ රජයේ ක්‍රියාවන් නිසා අයිතීන් අහිමිවන පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වෙත රාජපක්ෂ රෙජීමය ඍජුවම තර්ජනය කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ යුද්ධය පැවැති කාලයේ සිටම රාජ්‍ය නොවන සංවිධාන විධිමත්ව මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ අතර රජය විසින් විටින් විට පනවන ලද නීති රෙගුලාසිවලට ද එකඟව සිය කයුතු කරගෙන ගියහ. එසේම රාජපක්ෂ රෙජීමය විසින් පමණ ඉක්මවා සිවිල් සංවිධාන අසීරුතාවයට පත් කරන නීති රීති පැනවූ විට ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව සිය විරෝධය පලකරමින් රජයට එම පනත් කෙටුම්පත් අකුළා ගැනීමට සැළැස්වූහ. මානව හිමිකම් සංවිධානවලට මාධ්‍ය පුහුණු කටයුතු සිදුකිරීමට නොහැකි බව දක්වමින් මහින්ද රාජපක්ෂ රජය විසින් ගෙන ඒමට තැත් කළ නීති ආපසු හැරවීමට සංවිධානාත්මකව කටයුතු කිරීම උදාහරණ ලෙස දැක් විය හැකිය.

එහෙත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී මෙන් ම වර්තමානයේ දී ද රජය කටයුතු කරන්නේ ජනතාව මෙන්ම සිවිල් සංවිධාන ද ත්‍රස්තකර පාලනය කරමිනි. ඕනෑම කාර්යයක් සඳහා බලය පවරන්නේ සන්නද්ධ හමුදාවලට සහ පොලිසියටයි. ඇතැම් පරීක්ෂා කිරීම් සහ ප්‍රශ්නකිරීම් සිදු කරන්නේ ද නීතියට පිටිනි. විපක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ සිට තම හිතවතුන්ට ඇති අධිකරණ කටයුතු අහෝසි කරගන්නේ ද, නීතිය රකින නිලධාරීන් සහ ජනතාව අසීරුවට පත් කරන්නේද නීති විරෝධී ලෙස සහ ත්‍රස්තවාදී ආකාරයකිනි.

රටක් තුළ කටයුතු කරන සිවිල් සංවිධාන රාජ්‍ය තාන්ත්‍රික ආකාරයෙන් පවතින රජය සමඟ මෙන්ම ජාත්‍යන්තරය සමඟ ද කටයුතුන කරන විට පවතින රජය ත්‍රස්තවාදී ලෙස කටයුතු කිරීම ඛේදජනක තත්ත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button