දේශපාලන

පළාත් සභා හරහා ගෝඨා ඒකාධිපතිත්වයට හිස ඔසවයි

1987 දී ඉන්දියානු රජයේ ද මැදිහත් වීම මත මෙරට පළාත් සභා පිහිටුවූයේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනතාවට දේශපාලන බලය ලබා දීමේ වැදගත් පියවරක් ලෙසිනි. කුමනාකාරයකින් පිහිටවූවත් මුළු රටම පළාත් සභා අටකට මුලදී බෙදා පාලනය වූයේ උතරු-නැගෙනහිර දෙපළාත එක් කර එක පළාත් සභාවක් පිහිටුවූ නිසාය. නමුත් පසුව එම පළාත් දෙක සඳහා වෙන් වෙන්ව පළාත් සභා දෙකක් පිහිටු වීය.

දැන් බොහෝ දෙනෙක් කථා කරන්නේ පළාත් සභා මෙරට නැති ගානටය. තවමත් පළාත් සභාවල පාලනය නතරවීම හෝ අහෝසි වීම හෝ පළාත් සභා ක්‍රමය වෙනස් වීමක් හෝ සිදු වී නොමැත. සිදුවී ඇත්තේ පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට පත් වීමය. නමුත් ඇත්තටම පළාත් සභා ඇති අතර එම පළාත්වල ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන නියෝජිතයන්ගේ පාලනයක් වෙනුවට ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වන ආණ්ඩුකාරවරයකු හරහා පළාත් සභා පාලනය වේ.

අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග සහ වාරිමාර්ග වැනි විෂයන් මධ්‍යම ආණ්ඩුවට වඩා පාලනය වන්නේ පළාත් සභා මගිනි. තවමත් තත්ත්වය එසේමය. රටේ ප්‍රධාන පෙළේ පාසල් සහ රෝහල් කීපයක් හැරුණු විට අති බහුතර පාසල් සහ රෝහල් ඇත්තේ පළාත් සභා පාලනය යටතේය. ඒ අනුව විධායක ජනාධිපති විසින් සිය නියෝජිතයා වන ආණ්ඩුකාරවරයා පළාත් සභා පාලනයට යොදවා ඇති අතර ආණ්ඩුකාරවරයා විසින් පළාත් නිලධාරීන් මඟින් සිය පාලනය ගෙන යයි. ඒ නිසාම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස නිලධාරීන් ජනාධිපතිවරයාගේ අණ පිලිපැදීම සිදු කරයි.

එහෙත් පළාත් සභා මැතිවරණය පිළිබඳව සිංහල සමාජයට ඒ හැටි ප්‍රශ්නයක් නැති අතර ඔවුන් පළාත් සභා නැත්තං හොඳ යැයි කියන තැනක සිටී. මන්ද ඔවුන්ට අනුව පළාත් සභා යනු දෙමළ ජනතාවට දේශපාලන බලය ලබා දීමකි. ඒ බලය දකුණේ සිංහලුන්ට නැත. ඒ ඔවුන්ගේ කල්පනාවයි. එහෙත් උතරු-නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාවට තම අත්‍යාවශ්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන සහ වාරිමාර්ග ඇතුළු තවත් ගැටළු විසඳා ගැනීමට ඇති යාන්ත්‍රණය එයයි. එම ජනතාවට පළාත් සභා මේ මොහොතේ අත්‍යාව්‍යය.

අනෙක් අතට රජය මොන කයිවාරු ගැහුවත් ඉන්දියාව බලා සිටින්නේ 13 සංශෝධනයෙන් ඔබ්බට ගොස් දෙමළ ජනතාව සඳහා පළාත් සභා බලතල තවදුරටත් ලබා දෙනු ඇතැයි කියාය. ඒ බව ඔවුන් පසුගිය වස‍ර කිහිපයේම ද්විපාර්ශවික ලෙස පමණක් නොව ජිනීවාවලදීද ප්‍රකාශ කර ඇත. නිකම්ම නොවේ අනතුරු ඇඟවීම් ලෙසම ප්‍රකාශ කර තිබුණි. එසේම බටහිර රටවල් ද පළාත් සභා වැනි කාරණයක් ආපසු හරවා සුළු ජාතීන්ගේ අයිතීන් පාගා දමන්නට නැවත වරක් මෙරට සිංහල පාලකයින්ට ඉඩහරින්නේ නැත. ඔවුන් බලා සිටින්නේ ද පළාත් සභා කුමනාකාරයකින් හෝ ක්‍රියාත්මක වන තුරුය. එසේ නොවුනොත් සිංහල පාලකයින්ට පමණක් නොව සිංහල ජනතාවටද ගෙවන්නට වන මිල මේ අවස්ථාවේ දී නම් දැරිය නොහැකි වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button