දේශපාලන

මේ ආණ්ඩුවට දිව දෙකක් නෙමෙයි දිවවල් 20ක් විතර තියෙනවා – හිටපු පළාත් සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර

එක දුරකථන ඇමතුමෙන් ජනාධිපතිට අවශ්‍ය දේ ආණ්ඩුකාරය කරනවා.

ජනතා විරෝධය වැඩිවෙන්න වැඩිවෙන්න පොදුජන පෙරමුණු රජය ඒකාධිපති අකාරයට රට පාලනය කරගෙන යනවා. හොඳම උදාහරණය තමයි පළාත් සභා. දැන් පළාත් සභා මැතිවරණය ගැන කථා නැහැ. ජනාධිපතිවරයා ම පළාත් සභාත් පාලනය කරනවා. කාටත් පළාත් සභා තිබුණත් එකයි නැතත් එකයි වගේ ඉන්නේ. ඒක වෙන්නේ කොහොම ද? ඒ ක්‍රමයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය මොකක් ද? සහ එයින් අහිමි වන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව අප හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර සමඟ පැවැත් වූ සංවාදයකින් පළාත් සභා පළිබඳව අප ආරම්භ කිරීමට සූදානම් වන දීර්ග සංවාදයට මුල පිරුවෙමු. පහත පලවන්නේ එම සංවාදයයි.

අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතිවාසිකම් බොහොමයක් උල්ලංඝනය වෙනවා. එහෙම වෙන්නේ වැඩිවශයෙන්ම දේශපාලන කාරණා නිසා. ඇයි එහෙම වෙන්නේ?

මුලින්ම මනුෂ්‍යයා මනුෂ්‍යයාට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕන. තව මනුෂ්‍යයෙකුට ඇහුම්කන් දෙන්න ඉගෙනගන්න ඕන. මනුෂ්‍යයා තව මනුෂ්‍යයෙකුගේ වටිනාකම ඉගෙන ගන්න ඕන. එහෙම වුණොත් ඉබේම මානව හිමිකම් රැකෙනවා. හික්මීම නැතිකම අද සමාජයේ ප්‍රශ්නයක්, ළමයෙකුට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න පැය තුනක් එක තැන ඉඳගෙන ඉන්න හික්මීමක් තියෙන්න ඕන. ඒ විනය හික්මීම තියෙන අයට යමක් කරන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක්ට ඒ හික්මීම නැහැ. විශේෂයෙන්ම දේශපාලඥයන්ට. ඒකයි ප්‍රශ්නය වෙලා තිනේනේ.

දැන් දේශපාලනය මනාප පොරය ගත්තහම එහෙම හික්මීමක් විනයක් නැති පිරිසක් දේශපාලනයේ ඉහළ තනතුරුවල ඉන්නවා. ඒක තමයි මම මූලිකවම දකින්නේ මානව හිමිකම් කඩවෙන්න සහ මානව හිමිකම්වලට ගරු නොකරන්න හේතුව හැටියට. සාමාන්‍ය මිනිස්සුන්ට ගරු නොකරන අය කොහොමද මානව හිමිකම්වලට ගරු කරන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තරයේ අපකීර්තියට පත්වෙලා තියෙනවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා. මේ මොහොතේ කොවිඩ් වැනි කාරණා නිසා ඒ කථාව යටපත් වුණත්, ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් දරණ ස්ථාවරය නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බලපෑමත් දැඩි වෙලා තියෙනවා ඒ ඇයි?

මේ ආණ්ඩුවට දිව දෙකක් නෙමෙයි දිවවල් 20ක් විතර තියෙනවා. අතන්ට එකයි මෙතෙන්ට එකයි. තව එක්කෙනෙක්ට තව එකක් ඊලග එක්කෙනාට වෙන එකක් කියනවා. ආයේ අළුත් එකක් කියනවා. ඉන්දියාවට එකයි. චීනෙට එකයි. ඇමෙරිකාවට එකයි. ඒ වගේ එක එක්කෙනාට එක එක දේවල් කියනවා. බොදුබල සේනාව, මුස්ලිම් පක්ෂ, ඩග්ලස් දේවානන්ද, හෙල උරුමය වගේ පෑහෙන්නෙ නැති පිරිස් ගොඩක් එකට තියාගෙන හිටියා. එක එක්කෙනාට එක එක පොරොන්දු දීලා. නමුත් ජාති ආගම් භේදයකින් තොරව කිසි දෙයක් ජනතාවගේ අයිතිවාසිකම් පැත්තෙන් කරලා නැහැ.

මානව හිමිකම් රැකෙන්න නම් අපේ රටේ අධිකරණයේ ස්වාධිනත්වයයි, කාර්යක්ෂමතාවයයි දියුණු වෙන්න ඕන. මානව හිමිකම් ආරක්ෂා වෙන්නේ කොහොමද නීතිය හරියට ක්‍රයාත්මක කරන එරික් පෙරේරා වගේ සහකාර පොලිස් අධිකාරිවරුන්ව හොර අරක්කු ජාවාරම් කාරයන්ගේ පැත්ත අරන් ස්ථාන මාර කරනවා නම් තවත් මොන කථාද.

මේ වෙන කොට රටේ ජනතාවගේ මානව හිමිකම් වගේම හැම අයිතියක්ම උල්ලංඝනය වෙලා තියෙන්නේ මහා පරිමාණ හොරකම් සහ වංචා නිසා. ජනතාවට ඒ ගැන කිසි අවබෝධයක් නැහැ. බොහෝ ජනතාවට බිලියන ගණන් හොරකංවල ප්‍රමාණය තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම අතයට සිදුවන ගනුදෙනු ගැන දේශපාලන මැදිහත්වීමෙන් සිදු වන වංචා දූෂණ නිසා මොනතරම් අයිතිවාසිකම් කඩවෙනවද කියලා ජනතාව දන්නේ නැහැ. ඒ ගැන ඉදිරියේ දී අපි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

රාජපක්ෂ රෙජීම් එක යටතේ කළින් නොතිබූ ලෙස ජනතාව බෙදිලා නේද?

මහින්ද රාජපක්ෂ රෙජීම් එ‍කේ පරමාර්ථයම වුණේ ඒක. පරිපාලනයේ පහසුව සදහා එක් එක් අය කට්ටි කට්ටිවලට භේද කරලා එකිනෙකා අතර වෛරය ගොඩනගන්න උත්සාහ කළා. ස්වභාව ධර්මයේ දායදයක්ද මන්දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු ඊට වඩා වෙනස්. කුමන තත්ත්වය යටතේ හෝ අනුන්ගේ දුක තේරෙන මිනිස්සු කොටසකුත් ඉන්නවා. එල්.ටී.ටී.ඊ. එකත් එක්ක යුද්ධය පැවැති කාලයේ දී අසරණ දෙමළ මිනිස්සුන්ට පිහිටවුණ සිංහල මිනිස්සු වගේම සොල්දාදුවෝ හිටියා. යුද්ධය කළේ ත්‍රස්තවාදීන් එක්ක. අපි එජාපය ලෙස එහෙම සමාජය බෙදුවේ නැහැ. දැන් සජබ ලෙසත් එහෙමයි. ලාංකික කියන එකත් එක්කයි අපි කටයුතුකරන්නේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ බලය ගැන මොකද හිතෙන්නේ?

ආයතන තිබුණට වැඩක් නැහැ. ඒ ආයතනවලට බලයක් තියෙන්න ඕන යම් විමර්ශනයක් කරලා ඔවුන් හරහා හෝ අධිකරණයේ සාධාරණත්වය ලබා ගන්න. පළාත් සභාවේ පෙත්සම් කාරක සභාවේ මම හිටියා. මට එතනදි තේරුණේත් ඒකයි. එතන ඉඳලම ජනතාවගේඅයිතින් රකින්න පිහිටවපු හැම ආයතනයකටම විමර්ශනය කරන්න වගේම ඊට වඩා යම් බලයක් ඕන. නමුත් ඉතා ඉහළ සාධාරණත්වයක් පතා පිහිටවපු අධිකරණයේ කටයුතුවලටත් බලපෑම් කරන්න පුළවන් නම් ඊට පහළින් තියෙන ඒවයින් සාධාරණයක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා කිව්ව කථාව මම සීයට සීයක්ම අනුමත කරනවා. ‘‘අධිකරණයත් දූෂිතයි‘‘ එයා කිව්වේ නැහැනේ අධිකරණයේ සියලු දෙනාම දූෂිතයි කියලා. අල්ලස් කොමිසමත් දූෂිතයි. අල්ලස් කොමිසමටත් අල්ලස් දීලා තියෙනවා. අධිකරණයටත් අල්ලස් දීලා තියෙනවා. යම් විනිසුරුවරයෙක් මුදල් බලාගෙනම නෙමෙයි දේශපාලන අධිකාරියෙන් යම් වරප්‍රසාදයක් බලාගෙන යම් තීන්දුවක් වෙනස් කළොත් ඒකත් අල්ලස් ගැනීමක්.

ඒකයි මම කිව්වේ අධිකරණය එහෙම නම් මානව හිමිකම් කොමිසම වගේ ඒවා ට බලයක් දෙන්න ඕන ස්වාධිනව ක්‍රියා කරන්න.

පළාත් සභා ශ්‍රී ලංකාවට යථාර්තයක් ද?

ඔය පළාත් සභා එපා කියලා කෑ ගහන අය දැං පළාත් සභා නැතුව මේ රට දුවනවා කියලා හිතනවා. නමුත් ඇත්තටම නැත්තේ මහඇමති ප්‍රමුඛ ඇමති මණ්ඩලයයි, මන්ත්‍රීවරුන් පිරිසයි විතරයි. පළාත් සභාව එහෙමම තියෙනවා. යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවලිය තාම අඛණ්ඩව යනවා. දැන් ජා-ඇල ආසනය ගත්තොත් තියෙන පාසල් 42න් 41ක්ම පළාත් සභා පාලනයේ තියෙන්නේ. ඒ පාසල්වල පරිපාලනය බිඳ වැටිලා නැහැනේ. ඒ කියන්නේ ජනාධිපතිවරයා තමන්ට පක්ෂපාතී 9 දෙනෙක් පත්කර ගෙන තමන්ට අවශ්‍ය ආකාරයට පළාත් සභා යාන්ත්‍රණය ඒකාධිපති ආකාරයට ක්‍රියාත්මක කරනවා. පළාත් සභාවල මහඇමති ඇතුළු ඇමතිවරුන් සහ මන්ත්‍රී පිරිස නැති නිසා ආණ්ඩුකාරයට පුළුවන් නීති පනවන්න. ඒක ජනාධිපතිට අවහ්‍ය ආකාරයට දැන් කරනවා. එක දුරකථන ඇමතුමෙන් ජනාධිපතිට අවශ්‍ය දේ ආණ්ඩුකාරය කරනවා. මිනිස්සු හිතනවා පළාත් සභා නැහැ රට හොදට දුවනවා කියලා. ඒක ජනාධිපතිගේ පැත්තේන් දේශපාලනිකව ඉතාම වාසිදායකයි. නමුත් ව්‍යවස්ථා විරෝධීයි.

පළාත් සභා කියන එක 1988 ඉදන් මේ දක්වා ක්‍රියාත්මක වුණා. ඒක එකපාරම අහෝසි කරන්න බැහැ. ඒ නිසා දැන් ආණ්ඩුවම දෙපාර්ශවයක් දාලා සංවාදයක් හදලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් පළාත් සභා එපා කියනවා. අළුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා පළාත් සභා අහෝසිකරන්න කියලා ඒ අය කියනවා. බැසිල් රාජපක්ෂ ඇතුළුව තව පිරිසක් කියනවා පවතින ව්‍යවස්ථාව යටතේම පළාත්සභා මැතිවරණය පවත්වන්න කියලා.

අද තියෙන වළුවස්ථාවට අනුව පළාත් සභා ඡන්දය තියන්න ඕන. රටේ 50%කට වඩා පරිපාලනය ක්‍රියාත්මක වෙන්නේ පලාත් සභාවලින්. පළාත් සභාව සහ ඊට අදාල පළාත් පාලන ආයතන අතර මාසයකට වතාවක් සම්බන්ධීකරණ රැස්වීමක් තියන්න ඕන ඒ දෙක සම්බන්ධ කරන්න. පළාත් සභාවලට පළාත් පාලන ආයතන අධීක්ෂණ බලය දීම මගින් ක්ෂණිකව පියවර ගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button