දේශපාලන

ශ්‍රී ලංකා අගමැති චීන ඉතිහාසය ගැන චීනයට ම බොරු කිය යි.

“චීනය කියන්නේ රටක් පමණක් නොවෙයි දැවැන්ත ශිෂ්ටාචාරයක්. එය විවිධ ආක්‍රමණයන්ට ලක් වුණා මිස කවදාවත් වෙනත් රටවල් ආක්‍රමණය කළේ නැහැ.”

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ පසුගිය 15 වැනි දා ට යෙදී තිබුණු චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එම පක්ෂ මූලස්ථායේ දී සුම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ උත්සවය අමතමිනි.

මෙම කොටස රාජපක්ෂ අගමැතිවරයා පැවැත්වූ කථාවේ වාක්‍ය දෙකක් පමණි. එම වාක්‍ය දෙකින් ඔහුගේ චීනය පිළිබඳ පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව ද ඇති නොදැනුවත් භාවය ප්‍රදර්ශනය කරයි. එහි දී ශ්‍රී ලංකා අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ගල් පැලෙන බොරුවකි. ගැටළුව වන්නේ එය අප රටේ ජනතාවට අමුත්තක් නොවුව ද චීන ඉතිහාසය ගැන චීනයට ද බොරු පැවැසීම යි. ඉතිහාසයට අනුව මොන්ගෝලියානු අධිරාජ්‍යය මෙන්ම ජපානය විසින් ද චීනය ආක්‍රමණය කර ඇත. බටහිර ජාතීන් පෙරදිගට පැමිණීමෙන් පසු ඔවුන් විසින් ද චීනය ආක්‍රමණය කර ඇත. එය සත්‍යයකි.

එහෙත් චීනය විසින් කිසිම රටක් ආක්‍රමණය කර නැති බව පැවසීම විහිළුවකි. හොඳම උදාහරණය ටිබෙට් දේශය ආක්‍රමණය කිරීම සහ දැනටත් එය යටත් විජිතයක් ලෙස පාලනය කිරීම යි. ටිබෙටයේ චීන පාලනයේ ඇති ම්ලේච්ඡ භාවය නිසා ම දැනට බෞද්ධයන් අතර පිළිගැනීමට ලක් ව ඇති ටිබෙට් දේශයේ අධ්‍යාත්මික නායකයා වන දලායි ලාමා තුමා ද ටිබෙටයෙන් පිටුවහල් ව ඉන්දියාවේ ධර්මශාලා නුවර වාසය කර යි. එසේ ම ටිබෙට් ජාතිකයන් සඳහා ම ඉදිකර ඇති චීනයේ පිහිටි වධ කඳවුරු රාශියක ටිබෙට් නිදහස වෙනුවෙන් අරගල කළ දහස් ගණනක් ජනතාව සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අති දරුණු වධ හිංසාවන් ට ලක් වෙමින් සිටිති.

අනෙක් අතට බටහිර ජාතීන් පැමිණීමට පෙර ශ්‍රී ලංකාව ඈත අතීතයේ දී යටත් කර ගත්තේ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පමණි. ඒ හැරුණු විට ශ්‍රී ලංකාව ආක්‍රමණය කර යටත් කර ගත්තේ චීනය යි. එපමණක් නොව එ කළ මෙරට සිටි රජුව සිරකරුවකු ලෙස චීනයට ද රැගෙන ගියේ ය. එම ඉතිහාස කථාව අපගේ 7 වන ශ්‍රේණිය ඉතිහාසය පාසල් පෙළ පොතේ ද දක්වා ඇත. එම කථාව කෙටියෙන් දක්වන්නේ නම්;

චීනයේ ‘යුංලෝ‘ අධිරාජ්‍යාගේ විශේෂ දූතයෙකු වූ ‘චෙන් හෝ‘ සෙනෙවියා ක්‍රි.ව. 1405 දී පළමු වරට මෙරට ට පැමිණියේ ය. ඔහු දෙවැනි වරට ද ශ්‍රී ලංකාවට පැමිණියේ ක්‍රි.ව. 1409 වසරේ දී ය. එ කළ වර්තමානයේ දී මෙන් ප්‍රවාහන පහසුකම් දියුණු සහ වේගවත් තත්ත්වයක නොතිබුණ ද චීනයේ ප්‍රබලම සෙනෙවියෙක් වසර 4ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවට රුවල් නැව් මගින් දෙවරක්ම පැමිණියේ එ කළ ද පිහිටීම අනුව ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම නිසාමය. පෙරදිග වෙළඳාමේ දී සහ දේශපාලන බල ව්‍යාප්තියේ දී එ කළ ද ශ්‍රී ලංකාව වැදගත් තැනක් හිමිකර ගෙන තිබිණි.

ක්‍රි.ව.1409 දී ඔහු මෙරටට පැමිණෙන විට එවකට ශ්‍රී ලංකාවේ පාලකයා වූයේ රයිගම ප්‍රදේශය මුල්කර ගනිමින් රාජධානියක් පිහිටුවාගෙන සිටි වීර අලකේෂ්වර නම් පාලකයායි. එකළ ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස සැලකුණේ රයිගමයි. කෙසේ වෙතත් චෙන් හෝ සෙනෙවියාගේ දෙවැනි ලංකා ගමනේ දී වීර අලකේෂ්වර රජු විසින් චෙන් හෝ සෙනෙවියාව නිසි පරිදි පිළිනොගැනීම සහ ගරු සත්කාර නොකිරීම නිසා ඉන් කිපුණු චීන සෙනෙවියා තමන් ගෙනා පුද පඬුරු දෙවුන්දර දේවාලයට පූජා කර චීන, පර්සියානු සහ දෙමළ භාෂාවලින් ශිලා ලිපියක් ද පිහිටුවා ආපසු චීනයට ගොස් ඇත. ‘ගාල්ලේ ත්‍රීභාෂා ලිපිය‘ ලෙස හැඳින්වෙන්නේ එම ශිලා ලිපිය යි.

ඉන් වසර දෙකකට පසුව ක්‍රි.ව. 1411 වසරේ දී චෙන් හෝ සෙනෙවියා නැවතත් ලංකාවට පැමිණෙන්නේ මීට පෙර පැමිණි අවස්ථා දෙකටම වඩා වෙනස් ම ආකාරයකට විශාල හමුදාවක් ද සමගිණි. තමන් දෙවැනි වර පැමිණි අවස්ථාවේ දී නිසි ගෞරව සහිත ව පිළනොගැනීම චීන අධිරාජ්‍යාට කළ අවමානයක් සේ සළකා ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ චෙන් හෝ සෙනෙවියා පහසුවෙන්ම වීර අලකේෂ්වර ගේ ලංකා හමුදාව පරාජය කර ශ්‍රී ලංකා රජු සහ සමීපතමයින් පිරිස අල්වා ගෙන යුද සිරකරුවන් ලෙස චීනය ට ගෙන ගොස් ඇත. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ පැහැදිලව සටහන් වන සිදුවීමකි. ඒ මෙරට ඉතිහාසයේ චීනය විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ප්‍රථම සහ එකම අවස්ථාව යි.

එවැනි ඉතිහාසයක් නොදැන චීනය යනු ආක්‍රමණිකයෙකු නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසන්නේ තමන්ගේ හිත හදා ගැනීම සඳහා වීමට පුළුවන. එසේම චීනය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වු රටක් ලෙස ද හඳුන්වා ඇත. එහෙත් ටිබෙටයේ බෞද්ධයන්ට මෙන්ම භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදු කරන වධ හිංසාවන් සහ ඝාතනයන් අනුව එම සහතිකය අගමැතිවරයා දෙන්නේ කෙසේ දැ යි යන පැනයද ඇති නො වන්නේ ශ්‍රී ලංකා අමැතිවරයාගේ මෙන් ම රජයේ ද උවමනාව පැහැදිලි නිසා ය.

එනම් වැඩි වැඩියෙන් ණය ගන්න සහ ඉන් පොහොසත් වෙන්න නැති ගුණ වර්ණනා කරමින් මෙරට ජනතාවට පමණක් නොව චීනයට ද බොරු කීම යි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button