දේශීය

රු. 1000 නෙමෙයි වතුකරයේ කම්කරුවන්ට කළින් ගත්ත පඩියත් දැන් නැහැ! – එස්. ටී. ගනේෂලිංගම්

තේ කර්මාන්ත ශාලා හිමි වතු සමාගම්වල සේවය කරන ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමෙන් පසුව පෙරටත් වඩා අර්බුදයකට ඔවුන් පත් ව ඇතැ’ යි වතු සමාජ සංවර්ධන ආයතනයේ සභාපති සහ කඳුකර ජනතා ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන එස්.ටී. ගනේෂලිංගම් පවසයි.

තේ කර්මාන්ත ශාලාවලට අනුයුක්ත ව සේවය කරන කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 සිට රුපියල් 1,000ක් දක්වා ඉහළ දමන ලද්දේ පොදු ජන පෙරමුණ විසින් දුන් මැතිවරණ පොරොන්දුවක් ද වන නිසා ය. එනමුත් ඒ සඳහා ද සෑහෙන කාලයක් ගත විය. වැටුප් එසේ වැඩි කළ ද දැන් කම්කරුවන්ට එම වැඩි කළ වැටුප් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇත්තේ වැඩි කළ වැටුප් ප්‍රමාණයට සරිලන ලෙස කම්කරුවන්ගෙන් ශ්‍රමය සූරා කෑමට කර්මාන්ත ශාලා හිමියන් පියවර ගෙන තිබීමෙනි.

ඒ අනුව මීට පෙර දෛනික වැටුප රු.700ක් ලබා ගන්නා විට කම්කරුවන් දිනකට තේ දළු කිලෝ 15ත්, 16ත් කැඩීම සිදු කළ අතර දැන් රු.1,000ක දෛනික වැටුපක් ලැබීමට දිනකට තේ දළු කිලෝ 20ක් කැඩීමට සිදු වී තිබේ. එසේ කිරීමට එකඟ නොවන කම්කරුවන්ට සතියකට සේවයේ යෙදීමට ඉඩ ලැබෙන්නේ දින 2ක් හෝ 3ක් පමණි. ඒ නිසාම වැඩි කළ වැටුප ලබා ගැනීමට කම්කරුවන්ට හැකියාවක් නොලැබෙන බව ගනේෂලිංගම් වැඩි දුරටත් පවසයි.

එස්. ටී. ගනේෂලිංගම්

කර්මාන්ත ශාලා හිමියන්ගෙන් යෝජනා වී ඇති තවත් යෝජනාවක් වන්නේ තේ දළු කඩන ප්‍රමාණය අනුව ගෙවීම් කිරීමට ය. එහි දී නෙලනු ලබන තේ දළු කිලෝ එකක් සඳහා රු. 40ක් හෝ 50ක් කම්කරුවන් වෙත ගෙවීමට ය. ඒ අනුව උපරිම තේ දළු කිලෝ 20ක් නෙලනු ලැබුව ද කම්කරුවකුට ලැබෙන්නේ දිනකට රු.1,000කි. නමුත් එම යෝජනාවට අනුව කම්කරුවන් සඳහා සේවක අර්ථක සාධක අරමුදල් ගෙවීමක් සිදු කරන්නේ නැත.

කොරෝනා වසංගතය ද තම වාසිය සඳහා යොදා ගැනීමට වතු හාම්පුතුන් ක්‍රියා කර ඇත. මේ වන විට කොළඹ ඇතුළු තදාසන්න නගරවල සේවය කළ වතුකරයේ කම්කරුවන් කොරෝනා වසංගතය හමුවේ රැකියා අහිමි වීමෙන් නැවත වතුකරයට පැමිණ ඇති අතර ඔවුන් සතියට දින 2ක් හෝ 3ක් රැකියාවට යොදවා ගැනීමට වතු හාම්පුතුන් කටයුතු කරන නිසා ද තේ වතුවල රැකියාව කළ කම්කරුවන් අසරණ වී සිටී.

තේ වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව පඩි පාලක සභාව හමුවේ කරනලද පැමිණිල්ලට අනුව විභාග වන නඩුවට තවමත් විසඳුමක් නොලැබී ඇති අතර ම වෘත්තීය සමිති හෝ වතු කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ ද මෙම ගැටළුවට ප්‍රමාණවත් ලෙස මැදිහත් වීමක් සිදු කර නොමැත. වෘත්තීය සමිති සහ වතුකරයේ දේශපාලන පක්ෂ තම මැදිහත් වීම මේ මොහෝතේ සිදු නොකිරීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ද පඩි පාලක සභාව හමුවේ විභාග වන නඩුවයි.

අවසන් වශයෙන් අදහස් දැක්වු ගනේෂලිංගම් පවසා සිටියේ වෘත්තීය සමිති හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනකු නියෝජනය කරන වතුකරයේ දේශපාලන පක්ෂ ද මෙම ගැටළුව කෙරෙහි රජයේ අවධානය යොමු වන ලෙස කටයුතු කිරීමක් හෝ සිදු නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button