දේශපාලන

අධිකරණ තුනකින් වරදකරුවකු කළ මිනී මරුවකුට ජනාධිපති සමාව ලැබීම ජාත්‍යන්තර ප්‍රජාව හෙලා දකී.

මරණ දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව ලැබීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් නිර්මාණය වී තිබේ. දුමින්ද සිල්වා ට සමාව ප්‍රදානය කිරීමත් සමගම කොටි සංවිධානය ට සම්බන්ධ 16 දෙනෙකුට ද ජනාධිපති සමාව ප්‍රදානය කරන ලද අතර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඒ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් ද විවේචනවලට ලක්ව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ යම් දණ්ඩනයකට ලක්වූ තැනැත්තෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපති වරයාට බලය තිබේ. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. නමුත් මෙම බලය සම්බන්ධයෙන් මෙන්ම එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය ද කිසිදු විනිවිද භාවයක් නොමැති වීම ගැටලුවකි. එසේම එම බලය භාවිතා කිරීම ජනාධිපති වරයාගේ දේශපාලන හිතවතුන් වෙනුවෙන් භාවිතා කිරීම මගින් ඔවුන් නීතියට ඉහලින් සිටින පිරිසක් බවට පත් වීම ද, ඔවුන්ට දණ්ඩන මුක්තියකින් යුතුව ක්‍රියා කිරීමට අනුබල ලැබෙන බව ද පෙනේ. දුමින්ද සිල්වා ට සමාව හිමි වීමටත් මරණ දණ්ඩනයට නියම වී ඇති අනෙක් සිරකරුවන්ට එවැනි සමාවක් නොලැබීමටත් හේතුව කුමක් ද? දේශපාලන හිතවත් කම ද? ධනය සහ බලය ද? එසේ නම් නීතිය ඉදිරියේ සමානාත්මතාවයක් ඇත්ත වශයෙන්ම පවතින්නේ ද?

‍ජනාධිපති වරයාගේ මෙම බලය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන සෑම අවස්ථාවක ම ඊට ප්‍රති තර්කයක් ලෙස ඉදිරිපත් කෙරෙනුයේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ලබා දී ඇති බලයක් බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි. නමුත් එය අන්ධ ලෙස ක්‍රියාවේ යෙදවිය හැකි බලයක් නොවේ.  මරණ දණ්ඩනයට නියම වූ තැනැත්තෙකු නිදහස් කිරීම සඳහා ජනාධිපති වරයා මුලින්ම අදාල නඩුව විභාග කළ විනිසුරු වරයාගෙන් වාර්තාවක් කැඳවිය යුතුය. නඩුවේ සිද්ධිමය කාරණා වලට අනුව සමාවක් දිය හැකි තත්වයක පවතින සිද්ධියක් ද යන්න සොයා බැලීම මෙහි අරමුණ බව පෙනේ. ඉන් පසුව ජනාධිපති වරයා එම වාර්තාව නීතිපති වරයා වෙත යවා නීතිපති වරයාගෙන් උපදෙස් ලබාගත යුතුය. ඉන් පසුව එම උපදෙස් ද සමග වාර්තා අධිකරණ ඇමතිවරයා වෙත යොමු කර අනුමැතිය ලබා ගත යුතුය. දුමින්ද සිල්වා නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය පටිපාටිය අනුගමනය කර ඇත් ද යන්න ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දැනටමත් ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ත්‍රස්තවාදී සැකකරුවන් හා දුමින්ද සිල්වා අතර ද වෙනසක් පවතී. ජාත්‍යන්තර ප්‍රජාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පවසා ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ය. මෙම පනත යටතේ අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීම හා නඩු විමසීම කළ හැකි අතර, එම රැඳවියන් සම්බන්ධයෙන් ලිහිල් පියවර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලීම් කර ඇත්තේ අද ඊයේ නොවේ. මිනීමැරුමක් සිදුකර අධිකරණ තුනකින් නඩු විමසා වරදකරු කරන ලද මිනීමරුවෙකු නිදහස් කිරීම හෙළා දකින ඔවුන් එල්ටීටීඊ සැකකරුවන් සම්බන්ධයෙන් ලිහිල් භාවයක් දැක්වීම සාධනීය ලෙස දකිනුයේ මේ හේතුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button