දේශපාලන

වෘතීය සමිති සහ මන්ත්‍රීවරු කර ඇරලා, වතු පාලකයෝ කම්කරුවන් සූරා කනවා. – හිටපු පා.ම. තිලකරාජ්

“දැන් තේ වතුවල වැඩ කරන ජනතාවට රු.1000 වැටුපත් නැහැ. සතියෙම වැඩත් නැහැ. ඒ අය වෙනුවෙන් පත් කරල යැව්ව පාර්ලිමේන්තු මන්ත්‍රීලාත් නැහැ. වෘත්තීය සමිතිත් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඒ වෙනුවට කෝවිඩ් ඇවිල්ලා තියෙනවා. හැමෝටම නොලැබෙන රු.5000 ක් ගැන කථාවක් විතරක් තියෙනවා.”

මෙහෙම කිව්වේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජ් මහතාය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප ඡන්ද 67,000කට වැඩි ප්‍රමාණයක් රැගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ ඔහුට පසුගිය 2020 මැතිවරණයේ නාමයෝජනා නොලැබුණි. ඊට හේතු වූයේ වතු කම්කරුවන් නියෝජනය කිරීම සඳහා ඔහු නියෝජනය කළ පක්ෂයේ නායකයා රුපියල් කෝටි දෙකක් අවශ්‍ය බව පැවසූ හෙයිනි. අවසානයේ තිලකරාජ් වෙනුවට රුපියල් කෝටි දෙකක් වියදම් කළ හැකි පුද්ගලයෙක් 2020 දී පක්ෂ නායකයා සමඟ පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබීය. මේ වන විට තම හැකියාවෙන් වතු කම්කරු ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන තිලකරාජ් මහතා වතු කම්කරුවන් මුහුණ පා සිටින අසීරු ජීවන තත්ත්වය දකුණේ සිංහල සමාජය වෙත කාන්දු කරන ප්‍රධාන වාහකයකු වෙයි. මේ ඔහු සමග ‘සියත්මග’ වතු කම්කරුවන්ගේ අරගලයේ වත්මන් තත්ත්වය පිළිබඳ ව පැවැත් වූ සාකාච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.

තේ වතුවල වැඩ කරන කම්කරුවන් අද අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටිලා. ඒකට සම්පූර්ණයෙන් ම වගකියන්න ඕන මෙහෙ තියෙන වෘතිය සමිති සහ මේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ යි. ඒ අය දෛනික වැටුප රු.1000 කරන්න දැන් මැදිහත් වෙන්නේ නැහැ. කිසි මන්ත්‍රී කෙනෙක් මේ ගැන පාර්ලිමේන්තුවේ දී කථා කරන්නේ නැහැ. පසුගිය කාළේ ‘එක්ස්ප්‍රස්’ පර්ල් නැවෙන් වුණු හානියට ධීවර ජනතාව වෙනුවෙන් කථා කරන්න ඔවුන් නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ ඔවුන්ගේ ධීවර සමිති මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම පොහොර ප්‍රශ්නය වෙනුවෙනුත් ඒ ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයින් සහ ගොවි සමිති පෙරමුණට ඇවිල්ලා අද රටේ ම අවධානය අරගෙන තියෙනවා. ඒ වගේ ම ඔවුන්ගේ අරගලවලින් රජයට දැඩි බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි ජනතා බලය කියන්නේ වැඩකරන ජනතාවගේ ශක්තිය කියන්නේ

1972කට පෙර ඉන්ග්‍රීසීන් තමයි වතු පාලනය කළේ. පඩි නඩි ගෙවිම විතරක් නෙමෙයි වතුවල ජනතාවගේ සුබ සාධනයත් කළේ ඔවුන්. ඒක කොයිතරම් ප්‍රමාණවත් ද කියන එක වෙන ම කාරණයක් නමුත් හැමදේම කළේ ඉංග්‍රීසී වතු පාලකයෝ.

ඉන් පස්සේ ශ්‍රී ලංකා රජය 1972 දී වතු පාලනය බාර ගත්තා. නමුත් රජයට ඒක හරියට කරන්න බැරි නිසා 1992 දී වතු පුද්ගලිකරණය කළා. ඉන් පස්සේ වැටුප් ගෙවීමේ ඉඳළම වතු පරිපාලනය හැම දේම කළා විතරක් නෙමෙයි ඒ පෞද්ගලික සමාගම් 22 එකතුවෙලා අරමුදලක් හදලා සෞඛ්‍ය ඇතුළු වතුවල ජනතාවගේ සුබ සාධනයත් කරේ ඒ සමාගම්වලින් තමයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් සහ සමාජ සුබ සාධන අමාත්‍යාංශයක් තිබුණට වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය සහ සුබ සාධනය පැවැරිලා තියෙන්නේ වතු සමාගම්වලට.

1992 පුද්ගලීකරණයේ දී ගත් තීන්දුවක් අනුව වසර දෙකකට වරක් වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන් එකතුවෙලා වැටුප් තීරණය කරන්නත් එකඟ වුණා. 2015 දී දෛනික වැටුප රු.1000ක් කරන්න ඉල්ලුවා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නැවත 2019දී රු.1000 ඉල්ලීම ආවා. 2019 පොදුජන පෙරමුණු රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000ක් කරනවා කියල ම තිබුණා. මේ රජය බලයට පත් වුණාට පස්සේ සාමූහික තීන්දුව ගන්න එකට ඒ කියන්නේ වතු හාම්පුත්තු සහ වෘතිය සමිති මැදට රජයේ නියෝජිතයොත් ඇවිල්ලා දෛනික වැටුප රු.1000 කරන්න තීන්දු වුණා. එහෙම වුණේ රජයේ නියෝජිතයොත් ඇවිල්ලා වෘතීය සමිති පැත්තට බර වැඩි වුණ නිසයි. ඒ යෝජනාවේ තියෙනවා වසරකට දින 300ක් කම්කරුවන්ට වැඩ දෙන්න කියලත්. ඒ කියන්නේ මාසයකට දින 25ක්.

දැන් ඒ තීන්දුවට විරුද්ධව වතු හාම්පුතුන්ගේ සංගමය නඩු පවරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය දිනක වැටුප රු.1000ක් දෙනව නම් වැඩ දෙන්නේ මාසයට දින 13යි. ඒ විතරක් නෙමෙයි කළින් කම්කරුවෙක් දිනකට නෙලුවේ තේ දළු කිලෝ 15-16ක් වගේ දැන් කිලෝ 20ක් නෙලන්න ඕන.

ඒ එක්කම හාම්පුතුන්ගේ සංගමයෙන් ඇවිල්ලා තියෙන යෝජනාව තමයි සඳුදා, අඟහරුවාදා සහ බදාදා දින තුනේ දිනකට දළු කිලෝ 20 ගානේ එක් කම්කරුවෙක් දළු නෙළුවොත් සතියේ ඉතිරි දින දෙකෙත් වැඩ දෙන්න. ඒකෙන් හාම්පුතුන් කම්කරුවන්ව උපරිමයෙන් සූරා කන්න උත්සාහ කරනවා. එතනදි කම්කරුවකුට උපරිමයෙන් ලැබෙන්නේ තමන් නෙලන දළු කිලෝ එකකට රු.50යි. නමුත් දකුණේ කුඩා තේ වතුවල දළු නෙලන කම්කරුවෙකුට කිලෝ එකකට රු. 90ක් ගෙවනවා. ඒකෙන් ම පේනවා උඩරට වතු කම්කරුවන්ව මොන තරම් දරුණු විධිහට සූරා කනවද කියලා.

මේ සියලුම කාරණා එක්ක දැන් රජය හිර වෙලා ඉන්නේ රජයට කරන්න දෙයක් නැහැ. වතු කම්කරු ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 9 දෙනාම කට වහගෙන ඉන්නවා. ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ වෘතීය සමිතිවලට. කළින් වෘතිය සමිතිවලට කම්කරුවන්ගේ සාමාජික මුදල් කම්කරුවන්ගේ වැටුපෙන් අඩු කරලා වතු සමාගම් විසින්මයි කෙළින්ම වෘත්තීය සමිතිවලට යැව්වේ දැන් සමාගම් ඒක කරන්නේ නැහැ. ඒ නිසා වෘත්ති සමිතිවලට ගෙවල් ගානේ ගිහින් සාමාජික මුදල් එකතු කරන්න වෙලා.

නමුත් තම වැටුප වැඩි කරන්න වෘතිය සමිතිවලින් මේ මොහොතේ කිසිම දෙයක් නොවෙන නිසා කම්කරුවන් සාමාජික මුදල් දෙන්න කැමැති නැහැ. දැන් ඒක වෘතීය සමිතිවල පැවැත්මටත් තර්ජනයක් වෙලා තියෙනවා.

ඒ නිසාම වතු පාලකයින්ට පුළුවන් වෙලා තියෙනවා කම්කරුවන් එක්ක මුහුණට මුහුණ කථා කරලා. රු. 1000 ගාණේ වැටුප් ගෙවන්න දළු කිලෝ 20ක් දිනකට නෙලන්න සහ අවශ්‍ය නම් දින 5ක්ම කම්කරුවන්ට වැඩ දෙන්න. දැන් කම්කරුවන් තේරුම් අරං ඉන්නවා තමන් වෙනුවෙන් ඇත්තටම ඉන්නේ කවුද කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button