දේශීය

ශ්‍රී ලංකා කිතුණුවන්ගේ නායක එඬෙරා රායප්පු ජෝෂප් රදගුරුතුමා

යුද්ධයෙන් විපතට පත් වූ උතුරු නැගෙනහිර ජනතාවට සාන්තුවරයෙකු වූ ද, දෙමළ විමුක්ති කොටි සංවිධානයට විරුද්ධ වූවන්ට කොටියකු වූ ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දර්ශනයට අනුව ශ්‍රී ලාංකික කිතුණුවන්ගේ හෘද සාක්ෂිය ලෙස හැඳින් විය හැකි රායප්පු ජෝෂප් මන්නාරම හිටපු රදගුරුතුමා අප අතරින් වියෝ වී තෙ මසක් සැපිරුණේ පසුගිය ජූලි 1 වැනි දා ය. ඊට පසු දා (ජූලි 2 වැනි දා) මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය යි. රාජයප්පු ජෝෂප් රදගුරුතුමා සහ මඩු දේවස්ථානය යනු එකට ම බැඳී තිබුණු කාලයක් තිබුණි. ඒ උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ හමුදා ගෙන ගිය යුද්ධය පැවැති කාලය යි.

එම කාලයේ දී උතරේ අවතැන් වීම් පමණක් නොව යුද්ධයෙන් අවතැන් වූවන් සරණාගතයන් ලෙස දකුණු ඉන්දියාවට පලා යෑම ද සුලභ ප්‍රවෘතියක් විය. ඔවුන් සම්බන්ධයෙන් රජය මෙන් ම දකුණේ අති බහුතරයකට වගේ වගක් නොතිබිණි. රාජයප්පු ජෝෂප් රදගුරුතුමා අවතැන්ව රට තුළ ම කඳවුරුවල සිටින සරණාගත ජනතාව මෙන් ම ඉන්දියාවට පලා ගොස් සිටි අපේ ම සරණාගත ජනතාව පිළිබඳව ද සොයා බැලීය.

තම කිතුණු පූජකත්වයේ මෙහෙවර නියමාකාරයෙන් වටහා ගනිමින් කිසිදු දේශපාලඥයකුට හෝ හමුදා නායකයකුට හිස නොනමා අධිපතිවාදයට හා මිලිටරි පාලනයට විරුද්ධව සෘජුව පෙනී සිටීමට එතුමා ක්‍රියා කළේ ය. ඒ නිසා ම රදගුරුතුමාට ඇල වූ කොටි ලේබලය දෙතුන් ගුණයකින් වර්ධනය වූ අතර දකුණේ කිතුණු සභාව එතුමාගෙන් ඈත් වීම සීග්‍ර විය.

කොටි ලේබලය තව දුරටත් ඉහළ යෑමට හේතු වූයේ යුද හමුදාවට ආයුධ සන්නද්ධව මඩු පූජා භූමියට ඇතුළු වීමට රදගුරුතුමා අවසර නොදීමයි. නමුත් ඒ සමඟ ම එල්.ටී.ටී.ටී.ඊ. සංවිධානයට ද ආයුධ රැගෙන මඩු පූජා භූමියට ඇතුළු වීමට එතුමා ඉඩ දුන්නේ නැත. එය දකුණේ මාධ්‍ය කථා නොකළාක් මෙන් ම කිතුණු සභාව ද ඒ පිළිබඳ ව එතුමාට ප්‍රසංශා නො කළ හ. රදගුරුතුමාගේ ස්ථාවරය වූයේ පූජා භූමියට කිසිදු පාර්ශවයක් ආයුධ සන්නද්ධව ඇතුළු නොවිය යුතු බව යි. එයින් මඩු දේවස්ථානයේ ‘මඩු දේවමාතා’ ප්‍රතිමාව මෙන් ම ආරක්ෂාව පතා දේවස්ථාන භූමියට පැමිණි සහෝදර ජනතාව ද ආරක්ෂා කර ගැනීමට එතුමාට හැකි විය.

ප්‍රදේශයේ මත්පැන් පානය ඉහළ යාමත් සමඟම රදගුරුතුමා මන්නාරම නගරයේ මත්පැන්හල් හිමියන්ගෙන් කළ ඉල්ලීමකට අනුව නගරයේ මත්පැන් අලෙවිය ද නැවැතිණි. කැලණිය, මහනුවර, අනුරාධපුරය, කළුතර ආදී ඵෙතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ඇති නගරවල වත්, අනෙකුත් වැදගත් ඵෙතිහාසික ආගමික සිද්ධස්ථාන ඇති නගරවල වත් නවතාලීමට නො හැකි වූ මහා බෞද්ධ රාජ්‍යයේ  මත් පැන් විකිණීම නවතා දමන්නට තමන් අගරදගුරු ලෙස කටයුතු කළ මන්නාරම නගරයේ එතුමාට හැකි විය. ඒ නීතියකින් හෝ බල කිරීමකින් නොව, ඉල්ලීමකිනි. නීතියෙන් විකිණීමට අවසර ලැබී තිබූ මත්පැන් හල් ද අලෙවිය නවතා දැමුවේ එතුමාගේ ඉල්ලීම නිසාම ය.

යුද්ධයේ අවසන් කාලයේ දී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ සිටි ජනතාව සම්බන්ධයෙන් එවක එහි දිසාපතිනිය විසින් දැක් වූ  සංඛ්‍යා ලේඛන සහ පසුව හමුදා පාලන ප්‍රදේශවලට පැමිණි වැසියන් සංඛ්‍යාව අතර පරතරය 146,679ක් බව පෙන්වා දුන් අගරුදගුරුතුමන් ඒ සම්බන්ධව ජනාධිපති විමර්ශන කොමිසම වෙත ද පැමිණ ප්‍රකාශ කළ අතර කිහිප වරක් ම රජයෙන් ඒ සම්බන්ධව විමසීම් ද කළේ ය. එය රාජපක්ෂ රජයේ මෙන් ම හමුදා ප්‍රධානීන්ගේ ද නොසතුට ට හේතු වූ අතර යුද ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටි දකුණේ සිංහල බෞද්ධ මෙන් ම සිංහල කතෝලිකයින්ගේ ද අප්‍රසාදයට එය හේතු විය. ඒ සමඟ ම රාජප්පු ජෝෂප් රදගුරුතුමන් සහ දකුණේ කිතුණු සභාව අතර පෑහීමක් ඇති නොවන තරම් දුරස්ථ බවක් ඇති වීමට එය හේතු විය.

කිසිදු රාජ්‍ය නායකයකු ඉදිරියේ හෝ තම ස්ථාවරයන් වෙනස් නොකරන්නට ද එතුමා ට විශාල ධෛර්යයක් තිබුණි. යුද්ධයෙන් අනතුරුව වරක් රදගුරුතුමා කොළඹ අගරුදගුරු මැඳුර වෙත පැමිණ සිටියේ විදේශ සංචාරයක් අතරතුර ය. රදගුරු මැඳුරෙන් ජනාධිපති මන්දිරය වෙත ඒ බව දැනුම් දී තිබුණු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වහා ම රාජප්පු ජෝෂප් රදගුරුතුමාට ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනයක් කළේ එතුමා ව මුණ ගැසීමට සතුටු බව දන්වමිනි. රාජ්‍ය නායකයාගෙන් ලැබුණු ඒ ආරාධනය පිළිගනිමින් මිනිත්තු කිහිපයක හමුවක් සඳහා රදගුරුතුමන් ජනාධිපති මැඳුරට පැමිණි අතර ජනාධිපති මන්දිරයේ දැනුම් දීම අනුව මාධ්‍යවේදීන් ද පැමිණ සිටිය හ. සුහද කථා බහකින් අනතුරුව රදගුරුතුමන් විදෙස් ගත විය. එදින රාත්‍රී රූපවාහිනී ප්‍රවෘති ප්‍රකාශවලින් කියැවුණේ ‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුණ ගැසීමට පැමිණි මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ආදිය ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව” යි.

විදෙස් සංචාරය අවසන් කර නැවත පැමිණි රදගුරුතුමන් මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් ජනාධිපතිවරයා මුණ ගැසුණේ ජනාධිපතිවරයා කළ ආරාධනයක් අනුව බවත් ප්‍රදේශයේ ගැටළු සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගේ කිසිදු ඉල්ලීමක් නො කළ බවත් ය.

එවැනි නිර්භීත භාවයක් පලකළ රායප්පු ජෝෂප් රදගුරුතුමන්ගේ නික්ම යාම විශේෂයෙන් ම දෙමළ කිතුණුවන්ට මෙන් ම මෙරට පීඩිත ජනයාට දැරිය නොහැකි පාඩුවකි. එසේ ම තම මෙහෙවර හුදෙක් දේව මෙහෙයන් ඇතුළු ආගමික වත් පිළිවෙත්වලට පමණක් සීමා නොකරමින් යුද්ධයෙන් සහ ජනවාර්ගික අර්බුදයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ද ඉටු කළ යුත්තේ කෙසේ දැ යි කිතුණු සභාවේ ඉහළම තැන සිට පහළට ම නායකත්වය පෙන්වූ මහඟු ම ආදර්ශය මැකී යාමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button