ක්‍රීඩා

පාපන්දු නිලවරණය අවසන්! දැන් වසරක් වැඩ කරමු!!

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය ජුනි 30 වැනි දා අවසන් විය. මෙතෙක් පාපන්දු සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජස්වර් උමාර් මෙවර සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඒ සමඟ ම වසර හයක් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අනුර ද සිල්වා නව සභාපතිවරයාට සම්මේලනය බාර දී ඉන් පිට විය. එහෙත් ඒ වසරක කාලයකට පමණි. තවත් වසරකින් නැවතත් නිලවණයක් පැවැත්වීමට නියමිත අතර ජස්වර් උමාර් ගේ වසරක පාලන කාලය මැන බැලෙන්නේ තව වසරකින් පැවැත්වීමට නියමිත එම නිලවරණයේ දී ය. ලබන වසරේ මැයි 31 වැනි දා ට වත්මන් සභාපතිවරයාගේ ධූර කාලය අවසන් වන අතර ඉන් පසුව සම්මේලනයේ නව ව්‍යවස්ථාව යටතේ පැවැත්වෙන නිලවරණයෙන් වසර හතරක කාලයක් සඳහා නිධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කිරීමට නියමිතය.

පැවැති නිලවරණයට පෙර දෙපාර්ශවය ම එකඟ වූ පරිදි සභාපති සටනින් පසු ව පරාජය වූ පාර්ශවය අනෙකුත් නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම සිදු විය. දැන් නව සභාපතිවරයා තම පාර්ශවයේ සෙසු නිලධාරීන් සමඟ මාස එකොළහක කාලයක කටයුතු කළ යුතුය. ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව සභාපති ධූරයට තරඟකර පරාජයට පත් වූ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු පවසා තිබුණි. එය හොඳ තත්ත්වයකි.

මෙවර නිලවරණයෙන් ජස්වර් උමාර් සභාපති ලෙස තේරී පත් වූයේ වැඩි ඡන්ද 6කිනි. ඔහුට ඡන්ද 96ක් ලැබුණු අතර වෛද්‍ය මනිල් ප්‍රනාන්දුට ඡන්ද 90ක් හිමි විය. එය ඉතා තියුණු ජයකි. ඡන්ද 4ක් එහා මෙහා වුණි නම් ප්‍රතිඵලය වෙනස් වන්නේ ය. මනිල් ප්‍රනාන්දු ලබන වසරේ ද නිලවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

එය තේරුම් ගත හැකි වන්නේ ඔහුගේ මෙම ප්‍රකාශයෙනි. “අපි මේ අවුරුද්දේ වැඩ කරන්න ජස්වර් මහාතාට ඉඩ දෙන්න ඕන, නිලවරණයට ඔහු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න ඔහුට මේ ලැබුණේ හොඳම අවස්ථාවක්. ඒකට බාධා කරන්න හොඳ නැහැ. ඒ හේතුව නිසයි මම පරාජය වුණාට පස්සේ අනෙක් තනතුරු සඳහා මගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරලා තිබුණු සියලුම නාම යෝජනා ඉවත්කර ගත්තේ.

‘‘දැන් ඔහුට නිදහසට කරුණු කියන්න අවශ්‍ය නැහැ. නිලවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරලා පෙන්වන්න ඕන.”

එම ප්‍රකාශනය සියලුම පැතිවලින් ධනාත්මක ප්‍රකාශනයකි. මෙතෙක් කලක් පැවැති පාපන්දු සම්මේලනයේ පරිපාලනය පිළිබඳ සෑහීමට පත් නොවූ බැවින් නව සභාපතිවරයෙකු පත් කර ගෙන ඇත. ඔහුගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට ඉඩ දීම හොඳ දෙයකි. එසේම ඒ සඳහා සහයෝගය ලබා දීම ද කළ යුතුය.

ශ්‍රී ලංකා පාපාන්දු ක්‍රීඩාවේ පරිපාලනය මෙන් ම ජාත්‍යන්ත පාපන්දු පරිපාලනය පිළිබඳව ද අත්දැකීම් ඇති ජස්වර් උමාර් වසරක කාලයකින් සිය හැකියාව ඔප්පු කර ඔහුගේ පොරොන්දු අනුව මෙරට පාපන්දු ක්‍රීඩාව ඉදිරියට ගෙන ගියහොත් නැවත වසර හතරකින් ඔහුටම පාපන්දු මුල් පුටුව හිමි වීමට ඇති ඉඩ වැඩිය.

එසේ කිරීමට ඔහු අපොහොසත් වුවහොත් මෙවර ඔහුට හිමි වූ සුළු වැඩි ඡන්ද ප්‍රමාණය සමඟ ම සුළිය අනෙක් පැත්තට කැරකැවීමට ඉඩ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button