දේශපාලන

නැදුන්ගමුවේ හස්තියා, සත්ත්ව හිංසනය හා වැඩවසම්වාදී තිරශ්චීන භාවයේ නිරුවත

- වංශනාථ නවරත්න

මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහැරරෙහි මහ තැනක් හිමි වන නැදුන්ගමුවේ හස්ති රාජයා ගැන මහ ඉහළින් කැරෙන වර්ණනා අසන්නට ලැබිණි. දෘෂ්‍ය මාධයවල ද ඌ නැදුන්ගමුවේ සිට මහනුවරට ගමන් ගන්නා ආකාරය දිස්විණ. විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ඌ ඒ ගමනෙහි යෙදුණු බව කියැවිණ. ‘මූ නම් මහා පින් කළ සතෙක්’ යැ යි (නො)බුදුනුවන්ගේ සාධු කාරය නැංවිණ. සුපුරුදු ලෙස රට ම කර වටක් අවිදු අඳුරේ ගිලිණ!

දකින්නට අකැමැති අය තරම් අන්ධයන් කැතැ’යි කියැවේ. (None are so blinder than those who do not wish to see). බුදුන් වදාළ සදහමට අනුව නම් පසිඳුරන්ට ගොදුරු වන දේ ඔහේ විඳීම නො ව ගැඹුරින් විමසා සත්‍ය ගවේශණය කළ යුතු වෙයි. අප මේ කරන්නේ කිමෙක් ද? නැදුන්ගමුවේ හස්ති රාජය යනු අප මේ පිළිපදින (අ)සද්ධර්මයේ නිරුවතත් ඒ හරහා බුදුන්ට කරන මහා නිග්‍රහයත් හෙළිදරව් කරන නිමිත්තෙක් වෙයි. ඒ ඇයි?

මේ හස්තියා මහා පුණ්‍ය කර්මයෙකට හිමිකම් කියන්නේ කෙ සේ ද? ඌ ඉපැදුණේ ම එම ඊනියා පුණ්‍ය කර්මය සපුරන්නට ද? ඌ පැටි කල සිට ම ‘සතුන් බවුන්’ වඩා ශාන්ත, සංවර ගමනෙකින් ගිය සතෙක් ද? ඇත්තට ම ඌ එ සේ හීලෑ වීම පසු පස සැඟැවුණු සත්ත්ව හිංසනයේ ශෝකාන්තය සත්ත්ව කරුණාව, මෛත්‍රිය ගැන දෙසන, අසන අප සොයා නොබැලුවේ ඇයි? අවිද්‍යාත්මක ශ්‍රද්ධාව නැමැති මෝහාන්දකාරයේ ගිලී සිටින නිසා ද? ඌ හීලෑ වූ සැටි ඇත් ගොව්වාගෙන් දැන ගන්නට මෙතේ බුදුන් එන තෙක් සිටිය යුතු ද? ඇත් ගොව්වා ‘චුන්ද සූකර කතා වස්තුව’ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කැර ගතහොත් සිදු වන්නේ කුමක් ද? ඌරන් මස් පිණිස මරන විට උන් විඳි වේදනාව ම චුන්ද මස් මරන්නාට අත් විය. හීලෑ කැර ගන්නට සතුන් නොමරා මැරීමට යොදා ගැනෙන වධ විධි ක්‍රමය ඉතිහාසයේ සැඟැවී සිටී! අලි-ඇතුන් හීලෑ කෙරෙන්නේ උන් කෙරෙහි පතළ මහ මෙත් සිතින් පැටි කල උන් නහවා පිරිසිදු කොට, හිස අත ගා රසවත් පල-වැල කවා, පිරිත් පැන් පොවා, සදහම් සිතුරෙන් සිත් පහන් කරවා ද? (ඇතැම් විට ‘කකචූපම සූත්‍රය’ අවබෝධ කරවා විය හැකි ය. එයින් කියැවෙන්නේ යමකුගේ සිරුර කියතකින් ඉරන විට ඉරන්නා කෙරෙහි පවා මෙත් සිත් වඩන ලෙස යි.) නයකු දුටු විට ‘අනේ! නයි හාමි අපට කරදර නොකැර යන්නැ’යි කියන ‘බොදුනුවා’ මේ දෙබිඩිබව ගැන සිතා තිබේ ද?

ගන හිරු රැසින් රත් වුණු තාර පාර දිගේ මහ දිගු ගමනෙක නැදුන්ගම ඇතා යොදවන්නේ සසර දුක ඌට අවබෝධ කැරවීමට ද? විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ඌ ගෙන යන්නේ මිසදුටුවකු ඌට ඇසිඩ් ගසනු ඇතැ’යි බියෙකින් ද? දළදා මාළිගය අසල ඌ රඳවා තබා-ගෙන පෙරහරට යොදවා නොගෙන ඌ දිගු ගමනෙක නිරත කරවන්නේ සසර ගමනේ දිගුකම ඌට අඟවන්නට ද? නැතිනම් ඌ හිමිකරුගේ වැඩවසම් වත්කම්, ඇතුන් හීලෑ කැරුම් දස්කම් පෙන්වා සැදැහැවතුන්’ විස්මවන්නට ද? අලියන්ට අලි වධ දෙන අපි අලි බොරු කාරයෝ, වධකයෝ නො වෙමු ද? හස්තියා මහ මඟ ඇදෙන විට ඌට අප නගන සාධුකාරයේ දෝංකාරය තුළින් සිහින් ලෙස නැගෙන සත්ත්ව හිංසනයේ හඬ අපට ඇසෙන්නේ කවර දා ද?

දළදා පෙරහර නියමාකාරයෙන් නොපැවැත්වූ හෙයින් වසංගත, දුර්භික්ෂ ඇති වෙතැ’යි කතාවෙක් ද පසු ගිය දිනවල ඇසිණි. එ වැනි අවිචාර අභිචාර ඇදැහිලි ජනතාවට එන්නත් කිරීමට රාජපක්ෂලා දක්වන්නේ කෝවිඩ් එන්නත ලබා දීමට වඩා වැඩි උනන්දුවෙකි. ඇතැම් (අ)බුද්ධ පුත්‍රයන් ද ඊට උඩ ගෙඩි දෙන්නේ ඵෙතිහාසික වැඩවසම් ශ්‍රී විභූතිය නැවැත ඇති කැර ගැනීමේ නිර්මානුෂික, අධාර්මික තෘෂ්ණාව නිසා ම නොවේ නම් අසවල් දෙයකට ද?

දළදා කරඬුව ප්‍රදර්ශනය කිරීමෙන් වසංගත දුරුවෙතැ’යි යන්න සත්‍යයෙක් නම් අපි ගොඩ ය.එම්බා සල්ලි ඇමැති බැසිල් රාජක්ෂයෙනි, පළමු ව දළදා කරඬුව රට පුරා ප්‍රදර්ශනය කොට වසංගතය දුරු කොට දමනු. ඉනික්බිති අපේ සියලු ණය කපා හරින්නේ නම්, අදාළ රටවල එම කරඬුව ප්‍රදර්ශනය කරන බව ජනපති ගොළු අබා ලවා කියවනු! එ විට චීනාටත්, යැංකියාටත්, සෙසු සුද්දන්ටත්, ඉන්දියානුවන්ටත් හුලිජ්ජ පහ වන බයක් දැනෙනු ඇත! උන් අප වෙත දණ ගාගෙන එනු ඇත! සියල්ලට ම පසු අපේ මෛත්‍රිය පෙන්වන්නට දුප්පත් රටවලත් දළදා කරඬුව ප්‍රදර්ශනය කරනු! එ පින් බෙලෙන් මහින්ද අනාගත බුදු බවටත්, ජනපති ගොළු අබා සහ සල්ලි ඇමැති අග සව්වන් බවටත් පත් වනු නිසැක ය! නාමල් කෙළි ඇමැති ද කුමන හෝ කෙළියක් කොට මහ සඟ ගණ අතරට එක් වනු ඇත! රජ පස ගණ ම (රාජපක්ෂලා ම) මහ සඟ ගණ වනු ඇත! අනාගත බුදු නම් වැල උන් ම බදු ගනු ඇත! එ විට සද්ධර්ම ද්වීපයක් නොව සද්ධර්ම විශ්වයක් ගැන අපට කතා කළ හැකි වනු ඇත! සාධු! සාධු! සාධු!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button