දේශීය

බැරිම තැන සතොස හොරකම් පාරිභෝගික සේවා අධිකාරිය හෙලි කරයි

සීදුව සතොස අලෙවි සැල විසින් සුදු ළූණු කිලෝ ග්‍රෑම් 56,000ක් රු.74 බැගින් රාත්‍රි 10.30ට බිල් නොදා ලිපියකින් පෞද්ගලික වෙළෙන්ඳෙකුට අලෙවි කර ඇතැයි. පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් සතොස ඉහළ අධිකාරිය දැනුවත් නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් පෙරේදා (11වැනි දා) වෙළෙඳ අමාත්‍ය බන්දුල කුණවර්ධන ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාරිභෝගිකසේවා අධිකාරියේ විධායකඅධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේ,

“වෙළඳ අමාත්‍යාංශය කිව්වට ඉහළ අධිකාරියේ අනුදැනුමකින් තොරවයි මේ ගනු දෙනුව සිදුවෙලා තියෙන්නේ කියලා, එහෙනම් මොකටද එහෙම නිලධාරීන් පිරිසක් ඉඳලා” යනුවෙනි.

මෙම සුදුළූණු වංචාව මෑතකාලයේ දී සතොස මඟින් සිදු කළ වංචා අතරින් එකක් පමණි. මෙයට පෙර පෞද්ගලික වෙළෙඳුන් විසින් වැඩි මිලට විකුණනු ලබන සීනි මිල අඩු කිරීම සඳහා සතොස මඟින් අලෙවි කිරීමට ගෙන්වා තිබූ සීනි තොග ද පෞද්ගලික වෙළෙඳුන්ට විකුණා තිබුණු අතර පෞද්ගලික වෙඳෙඳුන් විසින් එම සීනී නැවතත් විවෘත වෙළෙඳ පොලේ දී ඉහළ මිලකට විකුණන ලදී.

එසේම කොරෝනා කාලය තුළ දී දක්නට ලැබුණු තවත් වෙළෙඳාමක් වූයේ සතොස අලෙවි සැල්වල ඇති සහල් තොග සිල්ලර වෙළෙඳුන් විසින් ඔවුන්ගේ තැරැව් කරුවන් යොදා හෝ වරින් වර ඔවුන්ම පැමිණ හෝ රැගෙන ගොස් ඉහළ මිලකට විකීණීමයි. ඒ හැර සතොස මඟින් අලෙවි කරන අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, හාල්මැස්සන්, ලොකු ළූණු, සුදු ළූණු, සැමන් වැනි ද්‍රව්‍ය ද සිල්ලර වෙළෙඳුන් විසින් මිලදී ගෙන තම වෙළෙඳ සැල් මඟින් වැඩි මිලකට විකුණයි. ඒ නිසාම, සෑම ප්‍රදේශයකම සතොස අලෙවි සැල් සිල්ලර වෙළෙඳුන්ට ආහාර ද්‍රව්‍ය විකුණනලබනු අතර පාරිභෝගිකයින්ට මිල දී ගැනීමට සහල් ඇතුළු කිසිදු ආහාර ද්‍රව්‍යයක් ඉතුරු වන්නේ නැත.

මේ සම්බන්ධයෙන් පාරිභොගික සේවා අධිකාරියට තවමත් නිසි වැටලීමක් හෝ පරීක්ෂණයක් සිදු කිරීමට නොහැකි වීම නිසාම සාමාන්‍ය ජනතාවගේ සාධාරණ මිලකට අත්‍යාවශ්‍ය ආහාර මිල දී ගැනීමට ඇති පාරිභෝගික අයිතිය දිගින් දිගටම කඩ වෙමින් පවතින්නේ, ජීවත්වීම සඳහා තම රැකියාවන් ද කර ගැනීමට නොහැකි වීමේන් දැඩි ලෙස ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් ද පීඩා විඳිමින් සිටිය දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button