දේශීය

ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතියට රාජ්‍ය ආරක්ෂාව බාධාවක් නොවිය යුතුයි. -නීතිඥ ප්‍රියලාල් සිරිසේන

ඕනෑම තරාතිරමක පුද්ගලයකුගේ තොරතුරු විමසීමට ජනතාව නිර්භීත වෙන්න ඕන.

රජයේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට ඇතුළුවී එහි ලිපි ගොනු මකා දැමීම පිළිබඳව බරපතලම සැකයට ලක්වන්නේ ඖෂධ සැපයුම්කරුවන්ගේ සිට මෙන් ම මිල ගණන්වල ද පෙර පැවැති දත්ත පිළිබඳව ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව අහිමි වීමයි. ඒ අනුව එම දත්ත පද්ධතියට ඇතුළුවී දත්ත මකා දැමීම යනු රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමිකිරීමට දරණ ලද උත්සාහයකට සමානය.

අප දන්නා කාලයේ සිට බොහෝ අවස්ථාවල දී පොලීසිය ගමක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමේ දී, එම අත්අඩංගුවට ගැනීමේ හේතුව කිසිවෙකුට දැනුම් දීමේ ප්‍රතිපත්තියක් තිබුණේ නැත. ඒ ගැන ප්‍රශ්න කිරීමට ද බොහෝ ගැමියන්ට ධෛර්යයක් තිබුණේ ද නැත. එසේ ම පළාත් පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් දක්වාමත්, සියලුම රාජ්‍ය නිලධාරීන් ද ඔවුන් වැය කරන මහජන මුදල්වලට සාධාරණයක් කරනවාදැයි අප දැන සිටියේ නැත. අනෙක් අතට එවැනි දෙයක් ප්‍රශ්න කරන සංස්කෘතියක් අපට තිබුණේ නැති අතර අහඹු ලෙස ජනතා නියෝජිතයෙක් දෙන්නෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් අවංක ලෙස තමන් කරන සේවය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන සුළු විස්තර පලකිරිම්වල යෙදුණි.

එහෙත් දේශපාලඥයන්ගේ සිට නිලධාරීන් දක්වා සිදු කළ වංචා දූෂණ පිළිබඳව නම් තිබුණේ ඒ සම්බන්ධව ජනමාධ්‍යවේදීන් වැනි පිරිස් විසින් කරන හෙළිදරව් පමණි. නමුත් ඒ සඳහා පියවර ගැනීම කුමන රජයකින් හෝ නොකෙරුණු තරම්ය. කෙරුණත් වැරදිකරුවූ දේශපාලඥයා හෝ නිලධාරියා නියෝජනය කළ පක්ෂය නැවත බලයට පැමිණි විගස ඔවුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වෙති.

එසේම පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ සිදුවීමක හෝ තොරතුරු නිසි ලෙස ජනතාවට දැන ගැනීමට නොහැකි වී ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව යටතේ සංවේදී කරුණු හෙළිදරව් නොකිරීම යන සීමා කිරීම් නිසාය.

නමුත් තෙරතුරුද දැන ගැනීම යනු අයිතිවාසිකමක් වී ඇති වර්ථමානයේ මේ සියලුම කාරණා නිරාකරණය කර ගැනීම සඳහා සහ තොරතුරු දැනගැනීමේ අයිතියේ හෙට දිනයේ වැදගත්කම පිළිබඳව අද දිනට යෙදී ඇති ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දිනය’ නිමිති කරගෙන ප්‍රවීන සිවිල් සමාජ ක්‍රියාකරුවකු සහ තොරතුරු දැන ගැනීමේ පනත යථාර්ථයක් කරගැනීම සඳහා විශාල කාර්යය භාරයක් ඉටු කරන නීතිඥ ප්‍රියලාල් සිරිසේන සමඟ සංවාදයක යෙදුණෙමු.

තොරතුරු දැන ගැනීමේ පනතින් මෙරට පුරවැසියන්ට ඇත්තටම වැඩක් වුණාද?

තොරතුරු දැනගැනීමේ පනත හෝ වෙනත් ඕනෑම අලුත් නීතියකින් ප්‍රයෝජනයක් වෙන්න නම් ජනතාව ඒ සම්බන්ධයෙන් දැණුවත් වෙන්න ඕන. ලංකාවේ මේ පනත ගෙනාවට පසුව විවිධ ආයතන මගින් ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් යම් කොටසක් දැණුවත් කළා. එහි ප්‍රතිඵලයක් විදියට විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ ඊට සම්බන්ධ පිරිස් විසින් විවිධ තොරතුරු ඉල්ලීම් සිදුකළා. නීතිමය කටයුතුවලට අවශ්‍ය තොරතුරු නීතිඥයන් විසින් ඉල්ලා සිටීමට පෙළඹුණා. ජනමාධ්‍යවේදීන් සහ පුරවැසියන් යම් පිරිසක් ඔවුන්ගේ  ගැටලුවලට අදාලව තොරතුරු ඉල්ලීම්වල යෙදුණා. රාජ්‍ය තොරතුරු පිළිබඳව පැවති රහස්‍ය ආකල්පය වෙනස්වීම තමයි මෙමගින් සිදුවුණු විශාලම ප්‍රතිඵලය.

නීතිමය වශයෙන් මේ වෙනස සිදුවුණත්, ප්‍රායෝගිකව එයින් ප්‍රතිඵල ලැබීමට නම් පුරවැසියන් වඩාත් උනන්දුවෙන් තොරතුරු ඉල්ලා සිටින්නට අවශ්‍යයි. ඒ වගේම රාජ්‍ය නිළධාරීන් වඩාත් ප්‍රගතිශීලී අයුරින් තොරතුරු හෙළිදරව් කරන්නට නැඹුරු වීමත් අවශ්‍යයි. තොරතුරු පනතෙන් සෑහෙන ප්‍රයෝජන ගෙන ඇති බව පවසන අතරේ ම එය තවදුරටත් භාවිතයට ගැනීම සඳහා පසුබිම සකස් කර ගන්නට අවශ්‍ය බවත් කියන්න ඕන.

ඒ සඳහා උදාහරණ දෙන්න පුළුවන් ද?

මම දකින හොඳ උදාහරණයක් තමයි තොරතුරු පනත යටතේ කටුනායක රොෂේන් චානක ගේ ඝාතනය පිළිබඳ ජනාධිපති කොමිසමමේ වාර්තාවේ පිටපතක් ලබා ගැනීම. සාමාන්‍යයෙන් ජනාධිපති කොමිෂන් සභාවල තීන්දු තීරණ කෙලින්ම ජනාධිපති වරයා වෙත යොමු කෙරෙන නිසා අපට එහි පිටපතක් ලබාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ පනත පැනවූවාට පසුව කෙටි කාලයක් ඇතුලත ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් ලබාදෙන්න බලධාරීන් ක්‍රියා කළා.  උතුරේ ජනතාවගේ අල්ලාගත් ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ලබා ගැනීමත් මෙවැනි අවස්ථාවක්.

නීතිමය කටයුතුවලදී මෙම පනත සෑහෙන ප්‍රයෝජනවත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස පාරිසරික ගැටලු සම්බන්ධයෙන් නඩු පැවරීමේදී පරිසර අධිකාරිය වැනි ආයතනවල අභ්‍යන්තර ලිපි ලේඛණවල පිටපත් අපට දැන් ඉල්ලා සිටිය හැකියි. නීතිමය කටයුතුවලදී දැනට අප අතේ නැති -නමුත් බලධාරීන් සතුව පවතින තොරතුරු සහ ලේඛණ ලබා ගැනීමට හැකිවීම විශාල පහසුවක් බවට පත්වෙලා තියනවා.

තොරතුරු දැනගැනීමේ පනත මෙයට වඩා සමාජගත කරන්න තිබෙන බාධාවන් මොනවාද?

මේ පනත පැනවූ පසුව විවිධ ආයතන මගින් එවකට මහජනයා අතරට මේ පනත ගෙනයාමට උත්සාහ කළා. නමුත් දැන් ඒ රැල්ල තරමක් දුරට අඩු වී තිබෙන බවක් පේනවා. ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ආශ්‍රිත පිරිස් මෙම නීතිය බොහෝ දුරට භාවිතා කළත්, සාමාන්‍ය ජනයා අතරට මෙය තවදුරටත් ගෙන යා යුතුව තිබෙනවා. යහපාලන ආණ්ඩුව මෙම පනත පැනවීමෙන් පසුව එය ස්වකීය ජයග්‍රහණයක් ලෙස සළකමින්  පනත ප්‍රවර්ධනය කළත්,  වර්තමාන ආණ්ඩුව මේ පනත ගැන වැඩි උවමනාවක් නැති බවයි පෙනෙන්නේ.

රජයේ ආයතන විසින් ද මෙම පනත එතරම් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. එයට හේතුව වෙන්නේ මේ පනත ක්‍රියාත්මක වීම  මගින් ඔවුන්ට තවත් අතිරේක වැඩ කටයුතු ප්‍රමාණයක් පැවරෙන නිසයි. පනත යටතේ රජයේ ආයතනවල තොරතුරු නිළධාරියෙකු සිටිය යුතු නමුත් බොහෝ විට මේ වෙනුවෙන් වෙනම නිළධාරියෙකු නැති බවයි පෙනී යන්නේ. තොරතුරු නිළධාරීන් ලෙස සේවය කළ යුතු පිරිස දැණුවත් කිරීම සහ මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස කටයුතු කිරීමට ඔවුන් පුහුණු කිරීමත් වැදගත්.

තොරතුරු දැනගැනීමේ පනතේ ඇති සීමාවන් මොනවාද?

පනතේ 10 වන වගන්තිය මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අවස්ථා කිහිපයක් සළසා තිබෙනවා. මේ බොහොමයක් සීමාවන් සාධාරණ ඒවා වගේ පෙනුනත්, ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය හා රාජ්‍ය ආරක්ෂාවට බලපෑමක් සිදුවිය හැකි යැයි පවසමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකියි. මෙවැනි වචනවල අර්ථනිරූපණය ඉතා පුළුල් විය හැකි නිසා යම් අවස්ථාවක මෙවැනි හේතු යොදමින් තොරතුරු වසන් කිරීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම යම් තැනැත්තෙකුගේ පුද්ගලික තොරතුරුවලට සම්බන්ධ යැයි කියමින් පවා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩක් පවතිනවා. දේශපාලඥයන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් මෙයට උදාහරණයක්.

රාජ්‍ය සේවකයන්ට රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන තීරණ පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම ආයතන සංග්‍රහය මගින්   තහනම් කර තිබෙනවා. මේ ප්‍රතිපාදන හේතුවෙන් රාජ්‍ය සේවකයන් බොහෝ විට තොරතුරු ප්‍රකාශ කිරීමට පැකිලෙනවා. නමුත් තොරතුරු පනත අනෙක් අණපනත්වලට වඩා ඉහලින් බලපැවැත්වෙන බව පනතේ ම 4 වන වගන්තියේ සඳහන් වී තියෙනවා. ඒ වගේම යම් තොරතුරක් හෙළි කිරීමෙන් සිදුවන යහපත වඩාත් විශාල නම් ඒ තොරතුර හෙළ කළ යුතුයි. නමුත් රාජ්‍ය සේවකයන් තවමත් සිතන්නේ පරණ සම්ප්‍රදාය අනුවයි. එසේම රාජ්‍ය නිළධාරීන් තවමත් නිළධාරීවාදී ලෙස සිතන පතන අය යි. තමන් මහජන සේවකයන් ලෙස ඔවුන් බහුතරයකට හිතෙන්නේ ම නැති තරම්.

ඉන්දියාවේ තොරතුරුද දැනගැනීමේ පනතට සාපේක්ෂව ලංකාවේ පනතේ ඇති අඩු පාඩු මොනවාද?

ඉන්දියානු තොරතුරු පනත යට‍තේ ඉන්දියානු රාජ්‍ය ආයතනවල කටයුතු සම්බන්ධයෙන් මෙන්ම මහජන මුදල් වැය වන කටයුතු සම්බන්ධයෙන් දැනගැනීමට එරට වැසියන්ට ඉඩ සැළසුනා. ඉන්දියාවේ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් යුතුව එම නීතියෙන් ප්‍රයෝජන ගැනීමට පෙළඹුනා.

ලංකාවේ පනවා තිබෙන පනත එයටත් වඩා තරමක් ඉහල මට්ටමක ස්ථාන ගතකර තිබෙනවා. අපේ තොරතුරු පනත මගින් මහජන අරමුදල් භාවිතා කෙරෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, මහජන අරමුදල් භාවිතා වන ව්‍යාපෘතිවලට සම්බන්ධ වන්නේ නම් රාජ්‍ය නොවන ආයතන සම්බන්ධයෙන් පවා විමසිය හැකියි. ඒ වගේම වෙනත් රටක ආණ්ඩුවක් විසින් උනත් ලබා දෙන මුදල් භාවිතා කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ පනත යටතේ ප්‍රශ්න කළ හැකියි. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ ආයතනවලට පවා ලංකාවේ පනත අදාල කර ගත හැකියි.

නමුත් ඉන්දියාවේ රාජ්‍ය ආයතන මහජනයා විසින් තොරතුරු ඉල්ලා සිටින තෙක් නොසිට එම තොරතුරු ස්වේච්ඡාවෙන්ම ප්‍රසිද්ධ කිරීමේ සම්ප්‍රදායක සිටිනවා. ලංකාවේ නිළධාරී තන්ත්‍රයත් මේ ආකාරයට ක්‍රියා කිරීමට පෙළඹීම අවශ්‍යයි. ප්‍රගතිශීලී ලෙස තොරතුරු හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තියක් ලංකාවේ තවමත් නැහැ.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ලංකාව තුළ ඇත්තටම ප්‍රායෝගික අයිතියක්ද?

මේ පනත මගින් රාජ්‍ය සේවයේ පවතින  අකාර්යක්ෂමතාවය වගේම නිලධාරීවාදයටත්  පහරක් එල්ල වෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් අත්තනෝමතික කටයුතු සිදුවන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් මහජනයාට තොරතුරු ඉල්ලා සිටීමටත් නීතිමය පියවර ගැනීමටත් පහසු වෙනවා. නමුත් මෙම පනතෙන් වඩාත් ප්‍රයෝජන ගැනීමට නම් මහජනයා ඒ සම්බන්ධයෙන් දැණුවත් වීම සහ උනන්දු වීම වැදගත්. කලින් සඳහන් කළ ආකාරයට ඒ සම්බන්ධයෙන් මහජනයා දැණුවත් වන ආකාරයේ වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම තොරතුරු ලබාදීම ප්‍රමාද කිරීමට උත්සාහ දරණ රාජ්‍ය නිළධාරීන් ද සිටිනවා. තොරතුරු ලබා දිය යුතු කාලසීමාව තුළ එම තොරතුරු ලබා නොදී ලිපියක් එවීම මගින් කල් ඇදීමත් නිතර දැකිය හැකියි.

තොරතුරු දැනගැනමේ පනත අලුත් නීතිමය තත්වයක් නිසා, මේ සම්බන්ධයෙන් පාසැල් විෂය මාලාව තුළ ඉගැන්වීමට හැකි වන්නේ නම් වැදගත් විය හැකියි. තමන්ට තොරතුරු දැනගැනීමට අයිතියක් පවතින බව මහජනයා විසින් වටහා ගැනීමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ.

තොරතුරු ඉල්ලීමක් සිදුකළ අවස්ථාවක අදාල තොරතුරු තෙවන පාර්ශවයකට සම්බන්ධ බව පැවසීම, තමන් සතුව නොමැති බව පැවසීම, මෙම කාර්යාලයේ නොව වෙනත් කාර්යාලයක පවතින බව පැවසීම වැනි විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරන අවස්ථා දැකගැනීමට පුලුවන්. ඒ නිසා රාජ්‍ය නිළධාරීන් ‍මේ සම්බන්ධයෙන් ධනාත්මකව සිතන පිරිසක් බවට පත්වීම වැදගත්.

කොමිෂන් සභාවේ කාර්යය භාරය පිළිබඳ සෑහීමට පත් විය හැකිද?

කිසියම් ආයතනයක් විසින් තොරතුරු ලබාදීම නොකලහොත් යන්නට සිදුවන්නේ ‍තොරතුරු කොමිසම වෙතයි. කොමිසම තමයි අභියාචනය විමසා බලන්නේ. මේ යටතේ කොමිසම විසින් මුල් වකවානුවේ වැදගත් මැදිහත් වීම් කිහිපයක් සිදුකර තියෙනවා. උදාහරණයකට පළාත් සභාවක් විසින් සිදුකළ පත්කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ස්වකීය වරප්‍රසාද හුවා දක්වමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවක කොමිසම මැදිහත් වෙලා එම තොරතුරු ලබාදීමට නියම කළා. මේ ආකාරයටම  මන්ත්‍රී වරු පිරිසක් විදේශ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක වරප්‍රසාද තර්කය ඉදිරිපත් කරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අවස්ථාවේදීත් කොමිසම ඒ තොරතුරු ලබාදීමට නියම කර තිබුණා. මේවා ඉතා ප්‍රගතිශීලි පියවරයන්.

තොරතුරු දැනගැනීමේ අයිතිය මෙයට වඩා ප්‍රායෝගික වීමට සිදු විය යුතු වෙනස්කම් මොනවාද?

රජයේ ආයතනවල තොරතුරු රැස්කිරීමේ හා ඒවා පවත්වා ගැනීමේ ක්‍රමවේද තවමත් පැරණි ආකෘතිවලින් තමයි පවතින්නේ. ඩිජිටල්කරණය ඉතා සෙමින් සිදුවන දෙයක්.  ඒ සඳහා  යටිතල පහසුකම් හා සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නමුත් ඒවා හිඟයි.  තමන්ගේ එදිනෙදා රාජකාරී අතරතුර සමහර නිළධාරීන්ට තොරතුරු සෙවීම සඳහා ම විශාල කාලයක් ගත කරන්නට සිදුවෙනවා.   ඒ නිසා රජයේ ආයතනවල ‍තොරතුරු  නව තාක්ෂණය යොදාගෙන ගබඩා කිරීම සහ පහසුවෙන් ලබාගැනීමට හැකි පරිදි කටයුතු සැළැස්වීම අවශ්‍යයි. මේ සඳහා උපකරණ සහ  පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වෙන අතර ඒවා සැපයීම රජයේ වගකීමක්.  මෙවැනි කටයුතු සඳහා අය‍වැයෙන් පවා වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යයි.

ඒ වගේම මහජනයාට ප්‍රවේශ විය හැකි පොදු දත්ත ගබඩාවක්   පිළිබඳව අදහසක් තිබෙනවා. සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල මෙවැනි  පොදු රාජ්‍ය දත්ත ගබඩා පවතින අතර  එමගින් පොදු ජනතාවට කිසිදු බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි වෙනවා. මිනිස් ශ්‍රමය අවමවීම සහ නිළධාරීන්ගේ කාලය වැයවීමත් මෙමගින් අඩු කර ගත හැකියි. මෙහිදී දත්ත සහ ලේඛණ කලමණාකරණය කිරීම සඳහා පරිගණක තාක්ෂණය යොදවා ගැනීම අත්‍යාවශ්‍යයි.

ඒ වගේම කලින් සඳහන් කළ ආකාරයට මහජනයා තවදුරටත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැණුවත් කිරීමත් අවශ්‍යයි. රාජ්‍ය නිළධාරීන්ගේ ආකල්ප වෙනස් කිරීම සහ පුහුණු කිරීමත් අවශ්‍යයි. ජනමාධ්‍යවලටත් මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා.

(සාකච්ඡා කළේ වසන්ත රනිල්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button